News

ජනපති සමඟ වැඩ කිරීම පහසුයි

තමන් බලයට පැමිණියහොත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තවදුරටත් ශක්තිමත් කොට ආරක්ෂා කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

මෙම ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු සම්පූර්ණ කිරීමටද කටයුතු කරන බවද හෙතෙම ප්‍රකාශ කළත් ඒ අඩුපාඩු මොනවාදැයි සඳහන් නොකළේය.

සමගි ජන බලවේගයේ නායකයා මේ බව සඳහන් කළේ ඊයේ (13දා) කොළඹදී පුවත්පත් කතුවරුන් සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදීය. තමන්ගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවක් පිහිටු වුවහොත් වත්මන් ජනාධිපතිවරයා සමග රාජ්‍ය පාලනය කිරීමේ ගැටලුවක් ඇති නොවනු ඇතැයිද සජිත් ප්‍රේමදාස මෙහිදී විශ්වාසය පළ කළේය.

පොහොට්ටුව මැතිවරණ ප්‍රචාරක රැස්වීම් අත්හිටුවූවත් සමගි ජන බලවේගය රැස්වීම් අත්හිටුවීමට කටයුතු නොකරන බවද මෙහිදී ප්‍රකාශ විය. මැතිවරණ රැස්වීම් අත්හිටුවීම කොරෝනා පැතිරීම වැළැක්වීමට හේතු නොවන බව කී සමගි ජන බලවේගයේ නායකයා කියා සිටියේ මැතිවරණ කල් දැමිය යුතු බවය. අගෝස්තු 05 දාට මැතිවරණ පැවැත්වීම ගැන තමන් ආරම්භයේ සිටම විරුද්ධ වූ අතර ආණ්ඩුව මැතිවරණය කල් දමන්නේ නම් ඊට සහාය දෙන බවද කියා සිටියේය.

මාධ්‍ය ප්‍රධානීන් මෙහිදී ජාතික ප්‍රශ්නයට යෝජනා කරන්නේ කුමන විසඳුම්දැයි ප්‍රශ්න කළහ. තමන් යෝජනා කරන්නේ ඒකීය රාජ්‍යයක් තුළ උපරිම බලය බෙදීමකි. පළාත් සභා ක්‍රමය ආරක්ෂා කළ යුතුය. උතුරේ ජනතාව හෝ පක්ෂ ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලා සිටින බවක් තමන් උතුරේ සංචාරය කළ අවස්ථාවේ දැන ගත නොහැකි වූ බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

විවාදයට භාජනය වී තිබෙන එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරණයට පෙර දැරූ මතය වෙනස් වී නැති බවත් බලයට පත්වී පැය විසි හතරක් ඇතුළත ගිවිසුම අහෝසි කරන්නට කටයුතු කරන බවත් ප්‍රේමදාස මහතා මෙහිදී අවධාරණය කර සිටියේය.

තමන්ගේ අදහස් ඇතැම් මාධ්‍ය ඔවුන්ට අවශ්‍ය පරිදි කපා කොටා පළකිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නායකයා මෙහිදී කනගාටුව පළ කළේය. මේ නිසා තමන් කියන දේ නිවැරදිව ජනතාවට සන්නිවේදනය නොවේ. තමන් සිරිකොතේ බලය අල්ලන බවට පවතින ප්‍රචාරයද එවැන්නකි. තමන් ප්‍රකාශ කළේ බලය ඇල්ලීමක් ගැන නොව සිරිකොත පාලනය පවරා ගැනීමක් ගැනය.

රටේ සියලු දෙනාට රුපියල් 20,000ක් දෙන බව කියන ප්‍රකාශයද එවැන්නකි. රුපියල් 20,000ක් දෙන්නට යෝජනා කරන්නේ රටේ සියලු දෙනාට නොව අඩු ආදායම්ලාභීන් සඳහාය. විශේෂයෙන්ම ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය වැනි රටවල් පවා කො​රෝනා නිසා ඇති වූ ආර්ථික අර්බුදය ජය ගන්නට මෙවැනි සහන ක්‍රියාත්මක කර තිබේ. එහි අරමුණ කොරෝනා නිසා බිඳවැටුණු ආර්ථිකය නගා සිටුවීම බවද සමගි ජන බලවේගයේ නායකයා පෙන්වා දුන්නේය.