News

ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ PCR දසදහසකට වඩා කරලා

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය විසින් මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ දස දහසකට අධික සංඛ්‍යාවක් සිදු කර ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත විශ්වවිද්‍යාලයක් බවට පත්ව ඇතැයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන ඊයේ (11දා) ප්‍රකාශ කළේය.

නාවික හමුදාවේ පී.සී.ආර්. පරීක්ෂණ තුන්දහසක්, කොළඹ නගර සභාව මගින් යොමු කළ පරීක්ෂණ හාරදහසක්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් යොමු කළ පරීක්ෂණ තුන් දහසක්, ඇතුළු පී.සී.ආර්. පරීක්ෂණ දසදහසකට අධික සංඛ්‍යාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුදල් යටතේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්යවරුන්, අධ්‍යාපන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය ඇතුළු වෛද්‍ය පීඨයේ කැපවීම මත සිදු කර ඇතැයි ද ඇමැතිවරයා පැවැසුවේය.

මෙම විශ්වවිද්‍යාලය තවදුරටත් කොවිඩ් පී.සී.ආර්. පරීක්ෂණ, බෝ නොවන හා බෝ වන රෝග පිළිබඳ පර්‌යේෂණාත්මක අධ්‍යයනයන් කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීමට ඇමැති මණ්ඩල අනුමැතිය ලබා දුන් බවද කී ඇමැතිවරයා ඒ සඳහා අවශ්‍ය උපකරණ මිලට ගැනීම සඳහා රුපියල් මිලියන හාරසියක් ලබා දීමට ද අනුමැතිය හිමිවූ බව කීය.

අජිත් අලහකෝන්