ජෝර්දානයේ රැකියා අහිමි ලාංකිකයින් පිරිසකට කඳුළු ගෑස් ප්‍රහාරයක්
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ජෝර්දානයේ රැකියා අහිමි වී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා එරට පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.
ජෝර්දානයේ අල්කාරා ප්‍රදේශයේ කර්මාන්තපුරයක සේවය කළ ශ්‍රී ලාංකිකයින් පිරිසක් එලෙස කඳුළු ගෑස් ප්‍රහාරයට ලක් වී ඇතැයි වාර්තා වේ.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මාස පහක පමණ කාලයක සිට අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිසට රැකියා අහිමි වී ඇති බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ඊයේ (27) දිනයේ ජෝර්දානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් කර්මාන්තපුරය පිහිටි ප්‍රදේශයට ගොස් තිබේ.
එහිදී ශ්‍රී ලාංකිකයින් 340කට ආසන්න පිරිසක් නිලධාරීන්ට විරෝධය පළ කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති අතර එය පාලනය කිරීම සඳහා ජෝර්දාන පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා ප්‍රකාශ කළේය.
“ජෝර්දාන්, අල්කාරා ප්‍රදේශයේ කර්මාන්ත පුරවරයේ පිහිටා තිබෙන ඇඟලුම් කර්මාන්ත ශාලාවක වැඩකරන ශ්‍රී ලාංකික ශ්‍රමික පිරිසකට තමයි මේ ප්‍රශ්නයට මුහුණදෙන්නට සිදුවෙලා තියෙන්නේ. කොරෝනා තත්ත්වය හේතුවෙන් කර්මාන්ත ශාලාවල සම්පූර්ණ නිෂ්පාදන ක්‍රියාවලිය ඇණහිටලා තියෙන නිසා රැකියා අහිමිවෙන තත්ත්වයක් උදාවෙලා ඇති බව“ ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක පැවසීය
“ඒ අයට අවශ්‍ය පහසුකම් සපයන්න තමයි ඊයේ තානාපති කාර්යාල නිලධාරීන් එම ස්ථානයට ගියේ. ඒ වෙලාවේ ඇතිවුණ යම් කථාබහක් හේතුවෙන් ඇති වූ යම් කළහාකාරී තත්ත්වයක් සමනය කරන්න තමයි ජෝර්දාන පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කළ බව“ ඒ මහතා සඳහන් කළේය.
කලහකාරී අවස්ථාවේදී තානාපති කාර්යාලයේ නිලධාරීන්ද යම් අපහසුතාවයන්ට ලක් වූ බවත් මේ වන විට සියල්ල සමනයකට පත්ව ඇති බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා වැඩිදුරටත් පැවසීය.
