ඩුබායි සිට ගෙන ආ මළසිරුරක් මරණ පරීක්ෂණයක් නැතිවම කටුනායකින් නිදහස් කරලා
කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් විසින් මරණ පරීක්ෂණයකින් තොරව නිදහස් කළ ඩුබායි සිට ගෙන ආ යාපනයේ පදිංචිකරුවකුගේ සිරුර නැවත ගෙන්වා මරණ පරීක්ෂණයක් සිදුකිරීමට ඊයේ (22දා) පියවර ගත්තේය.
ඩුබායි රාජ්‍යයේදී ගෙල වැලලාගෙන මියගිය බව කියන යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවකුගේ මළ සිරුර මෙලෙස කටුනායක ගුවන්තොටුපොළ බලධාරීන් විසින් අත්වැරදීමකින් නිදහස් කොට තිබේ.
මළසිරුර ඥාතීන්ට භාරදී පැයක් ගතවූ පසු ගුවන්තොටුපොළ නිලධාරීන්ට වැටහී ඇත්තේ තමන් අතින් වැරැද්දක් සිදුවූ බවයි. ඉන් අනතුරුව ඥාතීන්ට දුරකථන ඇමතුමක් ලබාදී සිරුර නැවත ගෙන්වාගෙන ඇත.
මේ පිළිබඳ කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය විමර්ශනය කිරීමේදී ගුවන් තොටුපොළ එම අංශය භාර වෛද්‍යවරයා තමන් අතින් වැරදීමක් සිදුවී ඇති බවට පිළිගත් බව පොලිසිය පවසයි.
ඩුබායිහි සේවය කරමින් සිට ඇති මෙම පුද්ගලයා ගෙල වැලලා ගැනීමට හේතුව තවමත් අනාවරණය වී නැති බව පොලිසිය පවසයි.
ඊයේ (22දා) සිදුකළ මරණ පරීක්ෂණයෙන් අනතුරුව සිරුර ඥාතීන්ට භාරදීමට පියවර ගෙන තිබේ.
හේමන්ත ලියනපතිරණ
