News

තරුණයන්ට දේශපාලනයට එන්න ඉඩක් අපේ රටේ නෑ -නිපුන රණවක

‘‘ගෝඨාභය රාජපක්ෂ මහතාට අපේ රට දියුණු කරන්න අවශ්‍ය සැබෑ වුවමනාවක් තිබෙනවා. ඒ නිසා එතුමාට තවත් වසර දහයක් යන්නට පෙර මේ ර​ට ඉහළින් ඔසවා තැබීමේ හැකියාව පවතිනවා’’ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක නිපුන රණවක පැවසීය.

මාතර, දෙයියන්දර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

‘‘දේශපාලනඥයන්ට වෙනස් විය යුතු කාලය එළැඹ තිබෙනවා. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් අලුත් මුහුණු කීපයක් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි. එය කළ හැක්කේ ජනතාවට පමණයි. ඒ විතරක් නොවෙයි, ඔබේ මනාපයට නිසි වටිනාකමක් ලැබිය යුතුයි.

ඒ නිසා ඔබ හොඳට හිතා බලා ඡන්ද පත්‍රිකාවේ කතිරය ගැසිය යුතුයි. වසර ගණනකට ඔබට වගකියන හොඳ කණ්ඩායමක් මාතරින් පාර්ලිමේන්තුවට යවන ලෙසත් මා ඉල්ලා සිටිනවා. පුටු 25ක් ලබාදුන්නා කියලා ඡන්දය දෙන්න එය සුදුසුකමක් නෙවෙයි. සුදුසුකම් සහිත අයට පමණක් ඔබේ වටිනා ඡන්දය භාවිත කරන්න. සුදුසුකම් කියන්නේ අධ්‍යාපන සුදුසුකම් පමණක් නෙවෙයි.

අද අපේ රටේ දේශපාලනය කිරීමේදී අලුත් අයට ඉදිරියට යන්න අවස්ථාවක් ලබාදෙන්නේ නැහැ. සමහර වෙලාවට යොවුන් පාර්ලිමේන්තුවට තරුණයන් ඉදිරිපත් වෙන්නේ දේශපාලනයෙන් ඉදිරියට යන්න අවශ්‍ය නිසා.

අද රට තුළ ඊට ඉඩක් නැහැ. එය රටකට ඒ තරම් උචිත දෙයක් නෙවෙයි. කෙනකුට හැකියාව තිබුණත් ඒ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න ඔවුන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ. මාතර විතරක් නෙවෙයි, ලංකාවේම තත්ත්වය ඕකයි. ඒ නිසා මේ රට එක තැන පල් වෙනවා.

අපේ රටේ විශාල වශයෙන් සම්පත් තිබෙනවා. එප්පාවල පොස්පේට් නිධියක් තිබෙනවා. ඒක පොහොර හදන්න භාවිත කරන ප්‍රධාන අමුද්‍රව්‍යයක්. නමුත් තවම ඒවායින් නිසි ප්‍රයෝජන ලබාගන්න කිසිම රජයකට බැරිවුණා. දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරුතුඩුව දක්වා ධීවර වරායවල් කීයක් තිබෙනවාද? නමුත් මාළු ටික ගබඩා කරන්න ගබඩා පහසුකම් නැහැ.

මාතර ප්‍රදේශයේ කොපමණ සම්පත් තිබුණත් වසර දහයක් යනතුරු මාතර කර්මාන්තශාලාවක් ආරම්භ වෙලා නැහැ. තිබුණු කර්මාන්තශාලාත් අද වැසී ගිහිල්ලා. ඉදිරියේදී ගමට මුදල් ගෙන එන ස්වයං රැකියා වැඩපිළිවෙළක් හා තරුණයන්ට රැකියාවල් ලබාදෙන්න අලුත් වැඩසටහනක් මාතරින් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.’’

තමරසිරි වෙල්ලප්පිලි-හක්මන

ඉෂාර සාරංග-දෙයියන්දර