තරු පහේ පොල්තෙල් වෙළඳපොළට
වෙළෙඳපොළේ අලෙවි කෙරෙන පොල්තෙල්වලින් සියයට හැත්තෑවක්ම නිසි ප්‍රමිතියෙන් තොර බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
දැනට වෙළෙඳපොළේ අලෙවි කෙරෙන පොල්තෙල්වලින් සාම්පල එකසිය දාහතක් ගෙන පරික්ෂා කිරීමේ දී මේ බව හෙළි වූ බව ද එම අධිකාරිය තවදුරටත් සඳහන් කරයි.
මෙම තත්ත්වය පාලනය කර ප්‍රමිතිගත ගුණාත්මක තත්ත්වයෙන් යුතු පොල්තෙල් ජනතාවට පහසුවෙන් හඳුනා ගැනීම සඳහා තරු පහකින් යුතු ලාංඡනයක් හඳුන්වා දීමට පොල් සංවර්ධන අධිකාරිය කටයුතු යොදා ඇත.
මෙම ලාංඡනය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී ඊයේ (27) පැවැත්වුණි. මෙම ලාංඡනය සැප්තැම්බර් මස 02 වැනිදාට යෙදෙන ලෝක පොල් දිනයේ දී එළිදැක්වීමට නියමිත බව ද පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
පොල් සංවර්ධන අධිකාරිය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එක්ව මෙම ලාංඡනය සම්බන්ධව කටයුතු කරයි.
සුළු, මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණ වශයෙන් පොල්තෙල් නිෂ්පාදනය කරන ස්ථාන 2500ක් පමණ පොල් සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී තිබෙන බවත්, ඒ අනුව ගුණාත්මක තත්ත්වයෙන් පොල්තෙල් නිෂ්පාදනය කරන ස්ථාන 10කට මුලින්ම අදාළ ලාංඡනය නිකුත් කිරීමට නියමිත අතර මුලදී ඇසුරුම් කරන ලද පොල්තෙල් සඳහා පමණක් අදාළ ලාංඡනය නිකුත් කරන බව පොල් සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ (සැකසුම් සංවර්ධන) පී. එදිරිමාන්න සඳහන් කළේය.
මෙම ලාංඡනය ලබා දීමේ දී පොල්තෙල් නිෂ්පාදනාගාරයේ නිෂ්පාදන ක්‍රමවේදය, නිෂ්පාදන පරිශ්‍රයේ තත්ත්වය ආදී කටයුතු පරීක්ෂාවට ලක් කෙරෙන අතර, ලාංඡනය සහිත පොල්තෙල් වෙළෙඳපොළට නිකුත් කිරීමෙන් පසුව ද නිරතුරු පරීක්ෂාවට ලක් කෙරේ.
කොප්පරා සඳහා ප්‍රමිතියක් තිබුණ ද කර්මාන්තකරුවා එය අනුගමනය නොකිරීම ගැටලුවක් බව ද පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
මේ අයුරින්ම පාම් තෙල් ද ඉදිරියේ දී නියාමනය කරන බව එම අධිකාරිය සඳහන් කරයි.
