ත්‍රිපෝෂ හදන කිරිපිටි කොන්ත්‍රාත්තුව මිල්කෝවෙන් ඉවතට
ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව මිල්කෝ සමාගමෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
කිරිපිටි මෙට්‍රික් ටොන් හත්සිය විස්සක් ලබා ගැනීමට අදාළව එම සමාගම වැඩි මිලක් ඉදිරිපත් කිරීම මෙම තීරණයට හේතු වී තිබේ.
මීට පිළියමක් වශයෙන් තරගකාරී ලාභ ක්‍රමය යටතේ මිල ගණන් කැඳවීමට අමාත්‍යාංශය තීරණය කර ඇත. මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් අමාත්‍ය මණ්ඩලය ඊයේ (17 වැනිදා) දැනුවත් කර තිබේ.
ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය කිරිපිටි සැපයීම් කොන්ත්‍රාත්තුව 2014 සිට 2019 වර්ෂය සඳහා මිල්කෝ පෞද්ගලික සමාගමට ලබාදී තිබිණි. 2020 සහ 2021 වර්ෂ සඳහාද කිරිපිටි සැපයීමේ කොන්ත්‍රාත්තුව එම ආයතනයට ලබා දීමට තීරණය කරන ලදී එහිදී කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 925කට ලබාදිය හැකි බවට මිල ගණන් ඉදිරිපත් කර ඇත.
ප්‍රසම්පාදන කමිටුව සහ මිල්කෝ සමාගම කළ සාකච්ඡාවකින් පසු කිලෝග්‍රෑමයක මිල රුපියල් පහකින් අඩු කර තිබේ. නමුත් 2019 වර්ෂයේ මිල්කෝ සමාගමේ මිලට වඩා සියයට පහළොවකින් වැඩි මිලක් ඉදිරිපත් කර ඇති බව ප්‍රසම්පාදන කමිටුව පෙන්වා දී ඇත.
ඒ අනුව ඍජු කොන්ත්‍රාත් ක්‍රමවේදය තුළින් මිල්කෝ සමාගමට වෙළෙඳපොළ ඒකාධිකාරියක් ඇති කළ හැකි නිසා දේශීය නිෂ්පාදකයන්ගෙන් ලංසු කැඳවීමෙන් තරගකාරි මිලක් ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදහසයි.
උදයජීව ඒකනායක
