තැපෑලෙන් ආ බෙහෙත වැරදි සිසුවෙක් අඳවෙයි
රෝහලෙන් ලබා දුන් ඖෂධයක් නිසා ඇති වූ ආසාත්මිකතාවකින් දෑස් අන්ධව සිටින මෙවර අපොස සා/පෙළ ලිවීමට සිටි ලෙනින් නිරෝෂන් ශිෂ්‍යාගේ තත්ත්වය විමසා බැලීම සඳහා මීරිගම වැවහේනවත්තේ ඔහුගේ නිවසට ඖෂධ නිෂ්පාදනය සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ඊයේ (16 වැනිදා) පැමිණියේය.
නිරෝෂන් ශිෂ්‍යා පරීක්ෂාකර බැලූ අමාත්‍යවරයා පවසා සිටියේ මෙම දරුවාට කොරෝනා සමයේ ලබා දුන් බෙහෙතක් ආසාත්මික වීමෙන් මෙම රෝගී තත්ත්වයට පත්වී ඇති බවයි. ඒ අනුව මේ පිළිබඳව කිසියම් විමර්ශනයක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගීන් සිදු කර වාර්තාවක් ලබාගෙන මෙම දරුවාට සාධාරණයක් ඉටු කිරීමට පියවර ගන්නා බව හෙතෙම මෙහිදී පැවසීය. දරුවාගේ පෙනීම ලබා ගැනීම සඳහා රජයක් හැටියට කළ හැකි උපරිමය සිදු කිරීමටත් ඒ වෙනුවෙන් මැදිහත් වීමටත් තමා බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට සහභාගි වූ මීරිගම ප්‍රාදේශීය ලේකම් ඉන්දික ප්‍රසාද් පවසා සිටියේ හැකි ඉක්මනින් අවශ්‍ය පහසුකම් සපයන බවත් දරුවාට වියදම සඳහා යම් වන්දි මුදලක් ලබා දෙන බවත්ය. සමෘද්ධි ආධාර ලබා ගන්නා පවුලක් බැවින් ඒ සඳහා හිමිවන ප්රතිලාභ ලබා දීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.
ලෙනින් නිරෝෂන් ශිෂ්‍යායා මීට අවුරුදු 1 1/2 පමණ ඉහතදී අපස්මාර රෝග තත්ත්වයට ගොදුරු වී ඇති අතර මීරිගම රෝහලෙන් සායනික ප්‍රතිකාර ලබා ගෙන ඇත. රටේ උද්ගත වූ වසංගත තත්ත්වය හේතුවෙන් පැනවූ ඇඳිරි නීතිය නිසා සායනයට සහභාගී වීමට නොහැකි වූ බැවින් මීරිගම රෝහලෙන් තැපැල් මාර්ගිකව බෙහෙත් ගෙන්නා ගෙන ඇත. මෙම ලබා දුන් බෙහෙත් මාරුවී ඇති අතර පෙනිටොයින් නමැති එම බෙහෙත දෙමාපියන් විසින් දරුවාට ලබා දී තිබේ.
බෙහෙත් ලබා දීමේදී දරුවාගේ සිරුරේ කිසියම් අසාත්මිකතාවක් ඇති වී ඇති අතර ඇස් පෙනීම ක්‍රමයෙන් අඩු වී ගොස් අන්ධ භාවයට පත් වී ඇත. මව්පියන් දරුවා වතුපිටිවල දිස්ත්‍රික් මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දැඩි සත්කාර ඒකකයේ දින 14 ක් ප්‍රතිකාර ලබා ඇති අතර ශල්‍යකර්ම කිහිපයකටද ලක් කර ඇත. නමුත් දරුවාගේ ඇස් පෙනීම යථා තත්ත්වයට පත් වී නොමැති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ඇස් රෝහලට මාරු කර යවා මේ වන විට එහි සායනික ප්‍රතිකාර ලබමින් සිටී.
මේ සම්බන්ධයෙන් මීරිගම දිස්ත්‍රික් මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී ජයන්ත අභයරත්නගෙන් අප විමසූ විට ඔහු පවසා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය කමිටුවක් මගින් විමර්ශනයක් ක්‍රියාත්මක බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මව්පියන් මීරිගම පොලිසියටද පැමිණිලි කර ඇති අතර පොලිසියද විමර්ශනයක් සිදු කරමින් පවතී. දරුවාගේ පියා කුලී වැඩ කරමින් ජීවත්වන අයෙකු වන අතර මව රැකියාවක් නොකරයි. දෙමව්පියන්ගේ ඒකායන බලා පොරොත්තුව පවුලේ එකම දරුවා වන ලෙනින් නිරෝෂන්ගේ දෑස් පාදා ගැනීමයි.
මනෝජ් එදිරිසිංහ – මීරිගම
