News

තෙල් කප්පාදුව දිග් ගැහේ

කොරෝනා වයිරසය පැතිරීමත් සමග ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහත වැටීම පාලනය කරනු පිණිස සිදුකළ දිනකට බැරල් මිලියන 9.7 ක නිෂ්පාදන කප්පාදුව මෙම ජූලි මාසය දක්වා ක්‍රියාත්මක කිරීමට සෞදි අරාබිය ප්‍රමුඛ ඔපෙක් සංවිධානයට අයත් රටවල් සහ රුසියාව එකඟත්වය පළකර තිබේ.

පසුගිය 6 වැනිදා ඔපෙක් සංවිධානයට අයත් ඛනිජ තෙල් අපනයනය කරන රටවල ඛනිජතෙල් විෂය භාර ඇමැතිවරු සහ රුසියාවේ නායකත්වයෙන් යුත් අනෙකුත් නිෂ්පාදකයින්ද එක්ව පැවති වීඩියෝ සම්මන්ත්‍රණයකදී මෙම තීරණය ගෙන ඇත.

කොරෝනා වයිරසය සීග්‍රයෙන් පැතිරීමත් සමග තෙල් මිල පහත යාම පාලනය කිරීම සඳහා තෙල් නිෂ්පාදනය 10% කින් පහත දැමීමට පසුගිය අප්‍රේල් මාසයේදී එකඟත්වය පළවූ අතර එය මෙතෙක් සිදු කළ විශාලතම නිෂ්පාදන කප්පාදුව ලෙසද හැඳින්වේ.

කෙසේ නමුත් මේ වන විට ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබෙන බැවින් සහ බොහොමයක් රටවල් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් ඇති බැවින් ඉන්ධන නිෂ්පාදනය පාලනය කිරීම පිළිබඳව ඔපෙක් සංවිධානයට අයත් ඇතැම් රටවල් විරුද්ධත්වය ප්‍රකාශ කර තිබේ. ඉරාකය සහ නයිජීරියාව යන රටවල් දෙකම මැයි සහ ජුනි මාසවල අදාළ කෝටාවලට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්ධන නිෂ්පාදනය කර ඇත.

මැයි මස අවසන් සතියේ ඇමරිකානු ඩොලර් 38 ක් පමණ වූ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වන විට ඇමරිකානු ඩොලර් 42.30 දක්වා ඉහළ ගොස් තිබේ. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ ගියද දේශීය ඉන්ධන මිල වැඩි කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පැවසීය.

ශිරන්තනි මානවඩු