තෙල් නැව පිපුරුණොත් වෙන දේ මෙන්න
නැගෙනහිර ප්‍රදේශයේ සංගමන්කන්ද තුඩුවට මුහුදු සැතපුම් 31ක් පමණ දුරින් වූ මුහුදු තීරයේ දී ඉන්ධන ප්‍රවාහන නෞකාවක ඊයේ (03 වැනිදා) පෙරවරුවේ ගින්නක් ඇති විය.
එම ගින්න හේතුවෙන් ඉන්දියන් සාගරයට බොර තෙල් මෙට්‍රික් ටොන් දෙලක්ෂ හැත්තෑදහයක් (2,70,000) පමණ මුසු වීමේ අවදානමක් පවතින බව සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පෙන්වා දුන්නේය.
‘‘කුවේට් සිට ඉන්දියාව දක්වා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ MT New Diamend” නමැති නෞකාවක් ඊයේ (03 වැනිදා) පෙරවරු 8.30ටපමණ මෙසේ ගිනි ගැනීමට ලක්ව ඇත.
මෙම නෞකාවේ කුවේට් සිට ඉන්දියාව දක්වා බොර තෙල් මෙට්‍රික් ටොන් 2,70,000ක් සහ නැවට යොදා ගන්නා ඩීසල් මෙට්‍රික් ටොන් 1700ක් ප්‍රවාහනය කරමින් තිබියදී මෙම ගින්න ඇතිවී තිබෙන බවද සමුද්‍ර දූෂණය වැළැක්වීමේ අධිකාරිය පෙන්වා දෙයි.
නැවේ මුළුතැන්ගෙයි ගෑස් නළයක් පුපුරා යෑමෙන් ගින්න ඇති වී ඇති අතර එය ක්‍රමයෙන් ව්‍යාප්ත වී තිබේ. නැවේ කපිතාන්වරයා ගින්න ඇති වූ සැණින් එය පාලනය කිරීමට කටයුතු නොකර එම ගින්න ඇති වූ තට්ටුව සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ. මේ නිසා ගින්න සීඝ්රයෙන් ව්‍යාප්ත වී තිබේ.
අනතුරුව නැවේ කපිතාන්වරයා විසින් සිදු කර ඇත්තේ නැවේ කාර්ය මණ්ඩලයේ 19 දෙනකු වෙනත් නැවකට යැවීමට කටයුතු කිරීමයි.
ගින්න හේතුවෙන් පුද්ගලයකු නැවේ මුළුතැන්ගෙය තුළ සිරවී සිටින බවටද තොරතුරු ලැබී ඇතැයි සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය සඳහන් කළේය.
කපිතාන්වරයා සහ තුවාල ලැබූ තවත් පුද්ගලයන් දෙදෙනකු නැවේ සරවී සිටි අතර ශ්‍රී ලංකා නාවික හමුදාව ඔවුන් බේරාගත්තේය. තුවාල ලැබ සිටි එක් අයකු ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන විත් කල්මුනේ රෝහලට ඇතුළත් කළේය.
ගින්න සැලවීමත් සමග ශ්‍රී ලංකා නාවික හමුදාවේ සයුර, රණවැසි නෞකා හා ඩෝරා යාත්‍රාවක්ද, ගුවන් හමුදාවට අයත් බීච් ක්රෆ්ට් යාත්‍රාව හා හෙලිකොප්ටරයක් යොදවා උදෑසන සිට මෙහෙයුමක් ඇරැඹීය.
මෙම මෙහෙයුමට එක්වීමට හම්බන්තොට වරායේ නැංගුරම් ලා තිබූ රුසියානු යුද නෞකා තුනක්ද පිටව ගොස් තිබිණි.
ඉන්දිය වෙරළාරක්ෂක නෞකා තුනක් හා ඩ්‍රෝන යාත්‍රාවක්ද ඊයේ (03 වැනිදා) පස්වරුව වන විට මෙහෙයුමට එක් විය.
ග්‍රීක සමාගමකට අයත් නැව මුදාගැනීමේ මෙහෙයුමට එක්වීමට එම සමාගමේ විදේශකයන් විශේෂ ගුවන් යානයකින් මත්තල ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිත විය.
මෙම නැව පුපුරා ගියහොත් උතුරු, නැගෙනහිර හා දකුණු වෙරළ තීරයට තෙල් ගලායාමේ අවදානමක්ද ඇති බවත්, මෙම ප්‍රදේශයේ සිටින තල්මසුන්, කැස්බෑවුන්, ඩොල්පින් ඇතුළු මත්ස්‍යන් විනාශ වීමේ සම්භාවිතාවක් ඇති බවත් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පේනවා දුන්නේය.
වෙරළ ප්‍රදේශවල ජනතාවට සැර වායු දූෂණයේ බලපෑම මෙන්ම සමේ රෝග ඇතිවීමේ අවදානමක් ද තෙල් නැව පුපුරා ගියහොත් ඇතිවිය හැකි බවද හෙතෙම පෙන්වා දෙයි.
තෙල් කාන්දුවීමක් සිදුවුවහොත් මෙරට සමුද්‍ර පරිසර පද්ධතියට පමණක් නොව ඉන්දියාව, බංග්ලාදේශය ආදී රටවල පරිසර පද්ධතියටද දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අනතුරු අඟවයි.
මේ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියේ දී ඊයේ (03 වැනිදා) සවස පැවැත්වුණි. නැවට ගොස් ගින්න නිවනවා හැර පිටත සිට ගින්න නිවීමට අපහසු තත්ත්වයක් පවතින බවද මෙහිදී සාකච්ඡා විය.
ශ්‍රී ලංකා නාවික හමුදාව හා ඉන්දියානු නෞකා එක්ව තෙල් නැවේ ගින්න පාලනයට නැවේ එංජිම සිසිලනය කරමින් වතුර ගැසීමට පටන් ගෙන තිබූ බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ (03 වැනිදා) පුවත්පත මුද්‍රණයට යන මොහොතේ පැවැසීය.
මෙම මෙහෙයුමේ සහායට ඉන්දිය නෞකා දෙකක් අද (04 වැනිදා) උදෑසන වන විට එම ස්ථානයට ළඟාවෙමින් තිබූ බව හෙතෙම සඳහන් කළේය. ඉන්දීය සෞර්යා නෞකාව ඊයේ (03 වැනිදා) රාත්‍රියේ දී ගින්න නිවීමේ මෙහෙයුම අරඹා තිබිණි.
මෙම නෞකාවේ කාර්ය මණ්ඩලයට අයත් කපිතාන් ඇතුළු ග්‍රීක හා පිලිපීන ජාතිකයන් 16 දෙනා නාවික හමුදා ඩෝරා යාත්‍රාවකින් ප්‍රතිකාර සඳහා ඊයේ (03 වැනිදා) රාත්‍රියේ නැගෙනහිර මුහුදු තීරයට රැගෙන එමින් තිබූ බවද හෙතෙම සඳහන් කළේය.
සාලිය කුමාර ගුණසේකර
