News

 දරුවන්ගේ මානසික රෝග ඉහළ ගිහින්

කොවිඩ් සමයේ දරුවන් අතර මානසික රෝග තත්ත්වයේ වර්ධනයක් සිදුව ඇති බවට වාර්තා වෙමින් පවතින බව පාසල් කටයුතු අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අයේෂා බාලසූරිය සඳහන් කරයි.

මේ වන විට ප්‍රතිකාර සඳහා පැමිණෙන පිරිස වැඩිවෙමින් පවතින බව මනෝ වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇතැයි ඇය පෙන්වාදේ.

පාසල් වසා දරුවන් නිවෙස් තුළ සිරවීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වීමට ප්‍රධාන හේතුවක් බවත් නිවසේ දරුවන්ට දෙමාපියන් එකසමානව ආදරය නොදැක්වීමද දරුවන් අතර මානසික ගැටලු වැඩිවීමට හේතුවක් යැයි අය සඳහන් කරයි.

මෙවැනි දරුවන් අවදානම් හැසිරීම් රටාවට යොමු වන බවත් ඒ තුළින් නොයෙකුත් භයානක කටයුතුවලට යොමු වීමට වැඩිවශයෙන් ඉඩතිබෙන බවත් ඇය සඳහන් කරයි.

අනවශ්‍ය ලිංගික සබඳතාවන් පැවැත්වීම, මත්ද්‍රව්‍යවලට නැඹුරුවීම, අනතුරුදායක ක්‍රියාවන්ගේ යෙදීම වැනි භයානක කටයුතු සඳහා දරුවන් පෙළඹිය හැකි බවද වෛද්‍ය බාලසූරිය පෙන්වාදෙයි.

සතිදෙකක් වැනි කෙටි කාලයක් සඳහා වුවද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් පාසල් ආරම්භ කිරීම මගින් දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට අමතරව අවදානම් හැසිරීම්වලින් ඈත්කර තබා ගැනීමට ප්‍රධාන හේතුවක් වන බවද වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරයි.

ශ්‍රියානි විජේසිංහ