News

දවස් හතරක් ඇතුළත දිගන දෙපාරක් සෙලවෙයි

වික්ටෝරියා ජලාශයට ආසන්නව පිහිටා තිබෙන දිගන ප්‍රදේශ ආශ්‍රිත දෙවැනි දිනටත් රිච්ටර් පරිමාණ ඒකක දෙකකට ආසන්න භූ චලනයක් ඊයේ (02 වැනිදා) පෙරවරුවේ සිදුවී තිබේ. මෙය වික්ටෝරියා ජලාශය ආශ්‍රිත භූ කම්පනයකින් සිදුවූවක්ද යන්න පිළිබඳව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පුළුල් පරීක්ෂණයක් අරඹා ඇත.

හේතුව හුනුගල් තට්ටුව දැයි සොයයි

දිගන ප්‍රදේශයේ අලුත්වත්ත සහ අඹකොළු ආශ්‍රිතව මෙම භූ චලනය සිදුව ඇත්තේ ඊයේ (02 වැනිදා) පෙරවරු 7.06ට පමණ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල පවසයි. භූ චලන සිදු වූ ප්‍රදේශ පිළිබඳව මේ වනවිට සිතියමක්ද සකස් කෙරෙමින් පවතී. ඉකුත් 29 වැනිදා වික්ටෝරියා ජලාශය ආශ්‍රිත ප්‍රදේශයේ සිදු වූ භූ චලනයේ විශාලත්වයට වඩා මෙය අඩු අගයක් ගන්නා බව පැවසේ.

පල්ලේකැලේ පිහිටි භූ කම්පන මානයේද මෙම චලනය සටහන්ව ඇත. ප්‍රදේශය ආශ්‍රිත භූමියේ හුනුගල් තට්ටුවක් පිහිටා තිබෙන බවත්, ඒවායෙහි පැලුම් ආදිය තිබෙන බවත්, මෙම හුනුගල්වල පීඩනය නිදහස් කිරීමේදී මෙම භූ චලනය සිදුවන්නට ඇතැයි සැකකරන බවත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ උදයද සිල්වා කියයි.

එමෙන්ම භූ චලනය සිදුවූයේ වෙනත් පිපිරීමක් නිසාද, නැතහොත් වික්ටෝරියා ජලාශය ආශ්‍රිත සිදුවූ භූ කම්පනයක් නිසාද යන කරුණු පිළිබඳවද අවධානය යොමු කර ඇතැයි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයා කියා සිටී.

ඉකුත් අගෝස්තු මස 29 වැනිදාද රාත්‍රි 8.32ට පමණ වික්ටෝරියා ජලාශය ආශ්‍රිත කුණ්ඩසාලේ, අනුරගම ප්‍රදේශයේ රිච්ටර් පරිමාණ ඒකක දෙකක භූ චලනයක් සිදුවී තිබූ අතර එම භූ චලනය වික්ටෝරියා, රන්දෙණිගල සහ රන්ටැඹේ යන ජලාශවල බැමිවල සවිකර තිබෙන සංවේදී උපකරණ පද්ධතිවලට සටහන්ව තිබුණි. මෙම භූ චලන තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ නිවාස කීපයක බිත්ති පුපුරා ගොස් ඇත.

මේ පිළිබඳව සොයා බැලීම සඳහා යොමු කරන ලද හයදෙනකුගෙන් යුත් භූ විද්‍යාඥ කණ්ඩායම ඊයේ (02 වැනිදා) භූ චලනය සිදු වූ ප්‍රදේශයට යොමු කළ බවත්, ඒ පිළිබඳව වාර්තාවක් ලැබීමට නියමිත බවත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා කීවේය.

මෙම භූ චලන තත්ත්වය පිළිබඳව පරිසර අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සමග භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන් ඊයේ (02 වැනිදා) සවස සාකච්ඡාවක් පවත්වා ඇත.

ජලාශ ආශ්‍රිතව සිදුවන මෙම භූ චලන පිළිබඳව නිරන්තරයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ සම්මානනිත මහාචාර්ය සී.බී. දිසානායක සඳහන් කරයි.

සාලිය කුමාර ගුණසේකර