News

දිගාමඬුල්ලේ තත්ත්වය උණුසුම්

එළැඹෙන අගෝස්තු 05 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතුවලදී වඩාත් ප්‍රචණ්ඩ සහ ‘උණුසුම්’ සිදුවීම් වාර්තා වන ප්‍රදේශ ලෙස දිගාමඬුල්ල දිස්ත්‍රික්කයේ කොට්ඨාස 03ක් හඳුනාගෙන ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය ප්‍රකාශ කරයි.

එම සංවිධානය පවසන්නේ පොතුවිල්, අක්කරෙයිපත්තු සහ සයින්දමරුදු යන කොට්ඨාස මෙලෙස සංවේදී ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති බවයි.

දැනටමත් සුළු ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වන මෙම ප්‍රදේශවල මැතිවරණය ඉලක්ක කරගත් වෛරී කතා ඉහළ ගොස් ඇති බව ද කැෆේ සංවිධානය පෙන්වා දෙයි.

එසේම දේපොළවලට එරෙහි පළමු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාව අක්කරෙයිපත්තුවෙන් වාර්තා වූ බව පෙන්වා දෙන කැෆේ සංවිධානය සාමකාමී මැතිවරණයක් සහතික කිරීම සඳහා මෙම ප්‍රදේශවල පොලිස් ආරක්ෂාව වැඩි කරන ලෙස ද ඉල්ලා සිටී.

 

නයන තරංග ගමගේ