News

දේශීය මත්පැන් බෝතලේට ලේබල් ගැහිල්ල ඇනහිටී

නියම මත්පැන් බෝතලයක් හඳුනාගැනීම සඳහා ආරක්ෂිත ලේබලයක් ඇලවීමේ ව්‍යාපෘතිය තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් දේශීය මතපැන් නිෂ්පාදන කර්මාන්තශාලා විසි තුන තුළ ක්‍රියාත්මක කිරීමට නොහැකිවී ඇතැයි වාර්තා වෙයි. පසුගිය රජය සමයේ දේශීය හා විදේශීය මත්පැන්වල මෙම ආරක්ෂිත ලේබලය ඇලවීමට තීරණය කෙරුණද දැනට එය ක්‍රියාත්මක වන්නේ ආනයනය කරන විදේශීය මත්පැන් සඳහා පමණි. දේශීය මත්පැන් පිරවී‍ම් යන්ත්‍රාගාරවල මත්පැන් බෝතල් කිරීමේදී ආරක්ෂිත ලේබලය ඇලවීමට තීරණය කළත් යළි නවීන යන්ත්‍ර සූත්‍ර ඒ සඳහා ආනයනය කළ යුතු බව මත්පැන් නිෂ්පාදකයන් සුරාබදු දෙපාර්ත​මේන්තුවට දැනුම්දී ඇත. දැනට පවතින් තාක්ෂණික ක්‍රමවේද වෙනස් කිරීමට නිෂ්පාදකයන් මැළිවීම මීට තවත් හේතුවක් වී ඇත. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයද ප්‍රතිපාදන වෙන්කර තිබිණි.

පාරිභෝගිකයකු මත්පැන් බෝතලයක් ලබා ගැනීමේදී එය නියම තත්ත්වයෙන් තිබේද යන්න සොයා බැලීමේදී ආරක්ෂිත ලේබල ක්‍රමය ඉතා වැදගත් බව සුරාබදු දෙපාර්තමේන්තු නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ පවසයි.

උදයජීව ඒකනායක