News

ධනවතුන්ට කොරෝනා බද්දක්

කොවිඩ් වසංගතයට දරුණු ආකාරයෙන් ගොදුරු වී සිටින රටක් වන ආර්ජන්ටිනාව වෛද්‍ය පහසුකම් සහ ජනතාවට වෙනත් සහන ලබා දීම සඳහා මුදල් සොයා ගැනීමේ අරමුණෙන් එරට ධනවත්ම පුද්ගලයන්ගෙන් බද්දක් අය කිරීමට තීරණය කර තිබේ. එරට ඉහළම ධනවතුන් වන 12,000ක පමණ පිරිසක් මෙම බද්දට යටත් වනු ඇති බව සඳහන් වේ. මෙම අලුත් බද්ද ඔවුන් හඳුන්වා ඇත්තේ මිලියනපතියන්ගේ බද්ද යන නමිනි. පෙසෝ මිලියන 200 කට (ලංකා රුපියල් මිලියන 450ට) වැඩි වත්කම් ඇති අය මෙම බද්ද ගෙවීමට නියමිතව තිබේ. ඡන්ද 42ට 26ක් වශයෙන් මෙම යෝජනාව පසුගියදා එරට සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයෙන් සම්මත වී තිබිණි. ආර්ජන්ටිනාව තුළ තිබෙන වත්කම් වෙනුවෙන් උපරිම වශයෙන් සියයට 3.5ක බද්දක් ද, රටින් පිටත ඇති වත්කම් වෙනුවෙන් සියයට 5.25ක බද්දක් ද අදාළ පුද්ගලයන්ට ගෙවීමට සිදුවනු ඇත.

ආර්ජන්ටිනාව තුළ මේ වනවිට කොරෝනා ආසාදිතයන් ලක්‍ෂ 14කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 40,000කට ආසන්නය. ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇති රටවල් අතර ආර්ජන්ටිනාව 9 වැනි ස්ථානයේ පසුවෙයි. ඉහත කී මිලියනපතියන්ගේ බද්ද තුළින් ලබා ගන්නා මුදල්වලින් සියයට 20ක් වෛද්‍ය සැපයුම් වෙනුවෙන්ද, සියයට 20ක් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර නගා සිටුවීම වෙනුවෙන්ද, සියයට 20ක් ශිෂ්‍යයන් සඳහා ශිෂ්‍යත්ව ලබා දීම වෙනුවෙන්ද යෙදවෙනු ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ. තවත් සියයට 15ක් විවිධ සමාජ සංවර්ධන කටයුතු වෙනුවෙන් යෙදවෙනු ඇත.

සහන් වික්‍රමගේ