නාට්ටාමිලාගේ ප්‍රශනයක් නිසා මැනිං වෙළඳපොළ උණුසුම් වෙයි
පිටකොටුව මැනිං තොග වෙළෙඳපොළ පරිශ්‍රය තුළ ඊයේ (09දා) අලුයම් කාලයේදී ව්‍යාපාරිකයන්, ගොවීන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.
ඊට හේතුව වූයේ බස්නාහිර පළාතට පනවා තිබූ නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමත් සමග පිටකොටුව මැනිං වෙළෙඳපොළ විවෘත කරන බව නිවේදනය කර තිබුණද එය එලෙස සිදු නොවුණු බැවිනි. කොවිඩ් -19 වයිරස ව්‍යාප්තිය පිටකොටුව ප්‍රදේශයේ අධික වීම හේතුවෙන් මැනිං වෙළෙඳපොළ විවෘත නොකිරීමට බලධාරින් තීරණය කර තිබිණි.
දින 18 ක් පුරා වසා දමා තිබූ මැනිං වෙළෙඳපොළ විවෘත කරන බවට පුවත් සැලවී ගොවීන් විශාල පිරිසක් එළවළු තොග පිටින් රැගෙන විත් තිබුණද, ඔවුන්ට සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකිව අසරණ වී සිටිනු දක්නට ලැබිණි.
මැනිං වෙළෙඳපොළට ඇතුළුවන ස්ථාන පොලිසිය විසින් බැරියර් දමා වසා දමා තිබූ අතර මෙම උණුසුම් තත්ත්වය ඇති වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසය.
මෙම ස්ථානයට පැමිණි බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ පිටකොටුව මැනිං පොදු වෙළෙඳ සංගමයේ ව්‍යාපාරිකයන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව, අදාළ එළවළු තොග සෙසු ආර්ථික මධ්‍යස්ථානවලට යොමු කිරීමට පියවර ගෙන තිබිණි.
‘‘මැනිං වෙළෙඳ සංගමයේ ව්‍යාපාරිකයන් ඉකුත් සතියේ පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවට සවන් දී එළවළු ලොරි රථ සෑහෙන ප්‍රමාණයක් අද අලුයම මැනිං වෙළෙඳපොළට පැමිණ තිබුණා. නමුත් පවතින සෞඛ්‍යමය ගැටලුව නිසා මැනිං වෙළෙඳපොළ විවෘත කිරීමට අවසර දී තිබුණේ නෑ. මෙම ගැටලුව තිබෙන්නේ මැනිං වෙළෙඳපොළේ ව්‍යාපාරිකයන් සහ එළවළු රැගෙන එන පිරිස් සම්බන්ධයෙන් නෙවෙයි. එම භාණ්ඩ බෑමට සහ පැටවීමට යොදා ගන්නා නාටාමිවරුන්ගේ ප්‍රශ්නයක් තිබෙනවා. එය නිරාකරණය කරනතුරු මැනිං වෙළෙඳපොළ විවෘත කිරීමට නොහැකි ගැටලුව වෙළෙඳ සංගමයට පැහැදිලි කර දුන්නා. නැවත මැනිං වෙළෙඳපොළ විවෘත කරන්නේ කෙසේද කියා සෞඛ්‍ය අංශයේ සියලුම ආයතන සමග සාකච්ඡා කර කඩිනමින් විසඳුමක් ලබා දෙනවා. මැනිං වෙළෙඳපොළට අදාළ ව්‍යාපාරිකයන්ගේ පීසීආර් පරීක්ෂණ ද අද (10 වැනිදා) සිට කිරීමට බලාපොරොත්තු වනවා යැයි බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මෙහිදී පැවසීය.
මේ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගෙන් විමසූ අවස්ථාවේදී ඔහු මෙසේ පැවසීය.
විෂබීජ-හරණයෙන් පසු මැනිං වෙළෙඳපොළ විවෘත කිරීමට සූදානම් කළත් එහි සේවකයෝ 149 දෙනකු පීසීආර් පරීක්ෂණයට යොමු කිරීමෙන් අනතුරුව එයින් 49 දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වුණා. ඒ නිසා සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් මත මැනිං වෙළෙඳපොළ විවෘත කිරීම කල් දැමීමට සිදු වුණා.
පිටකොටුව මැනිං වෙළෙඳ සංගමයේ උප සභාපති නිමල් අත්තනායක මෙසේ පැවසීය.
ඊයේ සිට මැනිං වෙළෙඳපොළ විවෘත කරන බව ඉකුත් 07 වැනිදා නිවේදනය කළා. එම තීරණයට එහිදී රජයේ හෝ කිසිදු පාර්ශ්වයක විරෝධයක් එල්ල වුණේ නැහැ. ඒ නිසා එළවළු තොග රැගත් ලොරි රථ 100 කට අධික ප්‍රමාණයක් මැනිං වෙළෙඳපොළ වෙත ළඟා වී තිබුනා.
නමුත් පිටකොටුවේ කොවිඩ් -19 විශාල පොකුරක් නිර්මාණය වී තිබෙන නිසා ආරක්ෂක අංශ මගින් එම කිසිදු ලොරියකට බඩු බෙදීමට ඉඩ ලබා දී නැහැ. එම ගොවීන් අද කබලෙන් ළිපට වැටිලා.
නුවරඑළිය, වැලිමඩ, බලන්ගොඩ, බෙලිඅත්ත, පුත්තලම, මහනුවර, බණ්ඩාරවෙල ආදී ප්‍රදේශවලින් එළවළු, පලතුරු තොග මැනිං වෙළෙඳපොළ වෙත ඇවිත් තිබෙනවා. එම එළවළු තොග නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය වෙත අරන් යන්න කියලා පොලිසිය පැවසුවා.
නමුත් එක් එක් ලොරිවල තිබෙන එළවළු, එක් වෙළෙඳසලකට අයිති ඒවා නෙවෙයි. එම එළවළු තොගවලට වෙන් වෙන් වශයෙන් අංක යොදා, වෙළෙඳසල්වල අංක දමා තිබෙනවා. එම නිසා මැනිං වෙළෙඳපොළ වෙත රැගෙන ආ එළවළු ආර්ථික මධ්‍යස්ථානවල විකිණීමට ප්‍රායෝගික නැහැ.’’ යැයි මැනිං පොදු වෙළෙඳ සංගමයේ ප්‍රධාන සංවිධායක අනිල් ඉන්ද්‍රජිත් පැවසීය.
මැනිං වෙළෙඳපොළේ ඊයේ අලුයම ඇති වූ තත්ත්වය මත ඇතැම් වෙළෙඳුන් වෙනත් ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු තොග රැගෙන ගොස් ඇති අතර, තවත් පිරිසක් ප්‍රධාන මාර්ගයේ (ටෙක්නිකල් හන්දිෙය් සිට පිටකොටුව දක්වා) විවිධ ස්ථානවල එළවළු අලෙවි කරනු දක්නට ලැබිණි.
ඉෂාර රත්නකාර / හේමන්ත ලියනපතිරණ
