නායගිය ගොඩනැගිල්ල හැදුවේ අවසර ඇතිව
එකම පවුලේ තිදෙනකුට මරු කැඳවමින් කඩා වැටුණු මහනුවර, බූවැලිකඩ පස්මහල් ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ සියලුම අවසරයන් ඇති බව එම ගොඩනැගිල්ල හිමිකරුගේ පුත් කේෂාන් ලෙව්කේ ‘අරුණ’ට පැවසීය.
2006දී සියලුම අනුමැතීන් ගෙන සැකසූ මෙම ගොඩනැගිල්ලේ ඊට අදාළ ලියකියවිලි සහිත ලිපිගොනුද නිවසටම යටවී ඇති බව නිවැසියන් පෙන්වා දෙති.
දොඩම්වල නාථ දේවාලයේ හිටපු බස්නායක නිලමේ අනුර ලෙව්කේට මෙම ගොඩනැගිල්ල අයත්ය.
මෙය මහනුවර නගර සභාව මගින් අනුමත සැලසුමට අනුව ඉදිකර ඇත්දැයි සෙවීමට විමර්ශනයක් අරඹා ඇතැයි මහනුවර නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් පවසයි.
මේ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ බව මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න ද සඳහන් කළේය. නායයාමට ලක්වූ නිවසේ හිමිකරු වූ දොඩම්වෙල නාථ දේවාලයේ හිටපු බස්නායක නිලමේ අනුර ලෙව්කේ මෙසේ පැවැසුවේය.
‘‘අපේ පවුලට කරන අභූත චෝදනා ගැන අපි කනගාටු වෙනවා. අපි මේ සිද්ධිය වුණාට පස්සේ පලා ගියේ නැහැ. ළඟම ගෙදරක තමයි එදා ඉඳන් නැවතිලා ඉන්නේ. මගේ
දුව මේ පාර උසස් පෙළ විභාගය ලියනවා. එයා රෑ 1.30 විතර වෙනකල් පාඩම් කරනවා. එදා අපි හැමෝම දුව පාඩම් කරලා ඉවර වෙනකල් ටී.වී එකක් බැලුවා. නිදාගෙන ඉද්දී එකපාරටම ජර ජර ගාලා සද්දයක් ආවා. මම හිතුවේ ගෙදරට හොරු ඇවිල්ලා කියලා. ලයිට් එක දාලා එළියට ගියාම අල්ලපු ගෙදර සමරසිංහ මහත්තයා අපේ ගේ පැත්තට ටෝච් එක ගහලා කිව්වා ඔයාගේ බිල්ඩිමේ කණු ඇද වෙනවා ඉක්මනට එළියට යන්න කියලා. අපි බල්ලොත් අරන් කාටත් නොකියා ගියා කියලා කියන්නේ සම්පූර්ණ බොරුවක්. බල්ලෝ දෙන්නා දවල් 2.00 ට විතර බෝක්කුවක් යට රිංගල ඉද්දී හමුදාවේ අය හොයගෙන තියෙන්නේ. මේ ගොඩනැගිල්ල අපි හැදුවේ අනුමැතීන් සියල්ල ලබා ගෙනයි. ඉංජිනේරු සංස්ථාව අධීක්ෂණ කටයුතු සිදු කළා.’’
කමල් සුරවීර -මහනුවර
