පරිසර හානි නැති මැතිවරණක් වෙනුවෙන් ජනපතිට සහතිකයක්
ලෝක මැතිවරණ ඉතිහාසයේ ප්‍රජා සහභාගීත්වය සහිත ‘කාබන් උදාසීන ජනාධිපතිවරණ ව්‍යාපාරය’ සඳහා ප්රදානය කෙරෙන ‘කාබන් ශූන්‍යකරණ’ සහතිකය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඊයේ (16 වැනිදා) පිරිනැමිණි.
මෙම සහතිකය පිරිනමන ලද්දේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රකාශයේ පරිසර ප්‍රතිපත්ති සම්පාදන කමිටු නියෝජිතයන් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදීය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය පරිසර හානිය සහ හරිතාගාර වායු විමෝචනය ශූන්‍ය අගයක තබාගත් බව සහතික කර ඇත්තේ හරිතාගාර වායු කළමනාකරණය පිළිබඳ සහතික නිකුත් කිරීම සඳහා බලය හිමි Sustainable Future Group නම් පරිසර පර්ෂදයයි. මේ කණ්ඩායම හරිතාගාර වායු විමෝචන ක්ෂේත්රයේ අන්තර්ජාතික පිළිගැනීමක් සහිත ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ අනුමැතිය ලබා ඇත.
ජන හමුවලට එන වාහනවලින් සහ ජනතාවගෙන් පරිසරයට මුදාහැරෙන කාබන් ප්‍රමාණය අන්තර්ජාතික ක්‍රමවේදයකට ගණනය කර තිබේ. එලෙස මුදාහැරෙන කාබන් ස්කන්ධය අවශෝෂණය කර ගැනීමට ශාක විසි එක්දහසක් රෝපණය කළ යුතු බව නිගමනය කර ඇත.
ඒ අනුව ‘රටේ පැළවන නිදහසේ හුස්ම’ රුක් රෝපණ ව්‍යාපෘතිය සෑම ජන රැලියක්ම ආවරණය වන පරිදි ක්‍රියාවට නැංවුණි. ව්‍යාපෘතිය යටතේ පැළ විසිහයදහසක් රෝපණය කොට, මේ දක්වා රැක ගැනීමෙන් කාබන් අවශෝෂණය වී හානිය ශූන්‍ය කර ඇතැයි ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය තක්සේරු කර තිබේ. අදාළ කාලසීමාවේදී වූ පරිසර හානිය හා කාබන් අවශෝෂණය පදනම් කොටගෙන පරිසර හානිය ශූන්‍ය බව පූර්ණ වශයෙන් තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා ප්‍රතීතන ආයතන කියයි.
‘සෞභාග්‍යයේ දැක්ම’ ප්රකාශනයේ පරිසර ප්‍රතිපත්ති සම්පාදක කමිටුව නියෝජනය කරමින් මහාචාර්ය සරත් කොටගම, ආචාර්ය සම්පත් වාහල, දර්ශනී ලහඳපුර, රෝෂිනී රාජපක්ෂ, චමින්ද මහනායක, අනුෂ්ක කුමාරසිංහ, සමන්ත ගුණසේකර සහ අර්ජුන පෙරේරා යන අය මේ අවස්ථාවට එක්ව සිටියහ.
