News

ප්‍රතිශක්තිය වඩන ඖෂධ ඇති තරම් අපිට තිබෙනවා

තමා විශ්වාස කරන පරිදි කොවිඩ් 19 යන මිනිසා විසින් සොබාදහමට කළ හානියට සොබාදහම විසින් දුන් ලොකුම දඬුවම බව ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නියලැත්තෝ පවසයි.

‘අරුණ’ට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ දියුණුවෙනවා යැයි කියා මිනිසා කළ විනාශකාරී දේවල්වලින් අවසානයේ සැබෑම දියුණුවක් ලබා තිබේද යන්න ගැටලු සහගත බවයි.

කෙසේ නමුත් ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් තම ජීවිත කාලයටම ලැබූ ලොකුම නිවාඩුව මේ දිනවල සිය වරිගය සමග කැලෑවේ ගෙවමින් සිටින බව කී වන්නිල ඇත්තන් මෙම වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ගද ගත් බව සඳහන් කළේය. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ වන්නිලඇත්තන් මෙසේද කීය.

‘මේ වගේ වසංගතයක් එද්දී අපි මුලින්ම ‘අඩීන් යදිනවා’ කියනා බාරවීමක් වෙනවා. ඖෂධ හැටියට අපි දේවදාර, කොහොඹ, හීන් මදුරුතලා වැනි දේ කැලෑවෙන් හොයාගෙන විෂබීජ නාශක ලෙස භාවිත කරනවා. ඒ වගේ කැඳ වර්ගත් පානය කරනවා. වහතැල්ල කැඳ විශේෂයි. ඒ වගේම ඉඟුරු, කොත්තමල්ලි, පත්පාඩගම්, වෙනිවැල්ගැට, රසකිඳ තම්බලා නිසි ප්‍රමාණයට දවස් දෙක තුන පානය කරනවා. ඒ වගේම විශ්නුක්‍රාන්ති වගේ ඖෂධ යොදා ගන්නවා. මේ ඖෂධවලින් ප්‍රතිශක්තිකරණය වැඩි කරන්න පුළුවන්. අපට නම් කැලෑවේ ඇති තරමට ඖෂධ තිබෙනවා.’

එමෙන්ම දිනෙන් දින මේ වසංගතය වැඩිවීම මත බලධාරින්ගේ උපදෙස් පරිදි කටයුතු කිරීමට වගබලාගන්නේ නම් මෙම තත්ත්වය පාලනය කරගත හැකි වනු ඇති බවද වන්නිලඇත්තන් පවසයි.

 

ශිරන්තනි මානවඩු