News

ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු සැසි වාර සඳහා සහභාගිවීමට අවසර

මරණ දඬුවම නියමව සිටින ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු සැසි වාර සඳහා සහභාගිවීමට අභියාචනාධිකරණයෙන් අවසර ලබා දී තිබේ.

ප්‍රේමලාල් ජයසේකර මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම අතුරු නියෝගය නිකුත් කරනු ලැබීය.

තීරණය ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නවාස් මහතා විවෘත අධිකරණයේ සඳහන් කර සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රේමලාල් ජයසේකර මහතා තේරී පත්වීම නීති විරෝධී බවට මෙතෙක් අධිකරණ තීරණයක් ප්‍රකාශයට පත්වී නොමැති බවය.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පෙත්සම්කරුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවිය යුතු සියලු හිමිකම් ඒ ආකාරයෙන්ම භුක්ති විඳීමට නීතිමය බාධාවක් නොමැති බව පෙන්වා දුන් අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා ඒ අනුව ඔහුට මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දීමට නීතිමය බාධාවක් පවතින බව පෙනී යන්නේ නැති බව ද සඳහන් කර සිටියේය.

ඒ අනුව පෙත්සම විභාග කිරීම සඳහා අවසර දෙන බවත් එහි වගඋත්තරකරුවන් වන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය සහ වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා සහ පාර්ලිමේන්තු මහලේකම් යන පාර්ශ්ව වෙත නොතීසි නිකුත් කර තිබේ.

පෙත්සම යළි මේ මස 29 දා කැඳවීමට ද අධිකරණය නියෝග කළේය.