පාසල් පළමු වාරය අද සිට ඇරඹෙයි
බස්නාහිර පළාත සහ හුදෙකලා කර තිබෙන ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශයන්හි පාසල්වල පළමු වාරය අද (11 වැනිදා) ආරම්භ කෙරේ.
එමෙන්ම බස්නාහිර පළාතේ පදිංචි සිසුන්ට හා ගුරුවරුන්ට අද සිට වෙනත් පළාත්වල පාසල් කරා යාමටද සෞඛ්‍ය අංශ මගින් අධ්‍යාපන අමාත්‍යාංශයට අවසර ලබා දී නැත. බස්නාහිර පළාතේ පදිංචි සිසුන්ට හා ගුරුවරුන්ට වෙනත් පළාත් පාසල්වලට යාමට පසුගිය වසරේ අවසන් පාසල් වාරයේ දී ද අවසර නොලැබිණි. බස්නාහිර සිට වෙනත් පළාත්වලට යාමට මෙවර අවසර ලැබෙන බව අධ්‍යාපන ලේකම්වරයා පසුගිය සතියේ ප්‍රකාශ කළ නමුත් ඒ සඳහා සෞඛ්‍ය අංශ අවසර දී නැතැයි ලේකම්වරයා පෙරේදා (09 වැනිදා) සඳහන් කළේය.
වයඹ පළාතේ පාසල්වල උගන්වන බස්නාහිර පළාතේ පදිංචි ගුරුවරු සංඛ්‍යාව එකසිය හැටකට අධික ය.
අමාත්‍යාංශයේ තීරණයට අනුව අද ආරම්භ කෙරෙන්නේ පළමු ශ්‍රේණිය හැර සෙසු ශ්‍රේණි ය. මෙම වසරේ පළමු ශ්‍රේණියට තෝරාගෙන සිටින දරුවන් පාසල් කැඳවෙන්නේ පෙබරවාරි මස දෙවැනි සතියේ දී බව අමාත්‍යාංශය පවසයි.
පන්තියක සිසුන් සංඛ්‍යාව 15ට අඩු නම් සෑම දිනකම පන්ති පැවැත්විය යුතු වන අතර සිසුන් සංඛ්‍යාව 16ට වැඩි වන්නේ නම් සිසුන් කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් පන්ති පැවැත්විය යුතු බව අමාත්‍යාංශය විදුහල් ප්‍රධානීන්ට දන්වා තිබේ. එමෙන් ම සිසුන් සංඛ්‍යාව 30 වැඩි නම් 15 දෙනා බැගින් කණ්ඩායම් කර සමාන දින සංඛ්‍යාවක් වන සේ පන්ති පවත්වන ලෙස ද දන්වා ඇත.
මේ අතර පාසල් ආරම්භ කිරීමට අදාළව විධිමත් වැඩපිළිවෙළක් නොමැති බවට ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් චෝදනා කරයි. සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් පාසල් ආරම්භ කරන ලෙස පාසල් ප්‍රධානීන්ට අමාත්‍යාංශය උපදෙස් දී ඇතත් එම සෞඛ්‍ය පහසුකම් සපයා ගැනීම සඳහා මෙම වසරට අදාළව කිසිදු මුදලක් පාසල්වලට ලබා දී නොමැති බව මෙන් ම නව වසරේ පාසල් ආරම්භ කිරීමේ දී පසුගිය වසරේ අවසන් පාසල් වාරයේ පැවති අඩුපාඩු හඳුනා ගැනීමට අපොහොසත් වී ඇති බවත් හෙතෙම කීවේය.
නිලන්ත මදුරාවල
