ප්‍රීතිමත් ජීවිතයකට

පිහියෙන් අනිනවාට වඩා සමාව දෙන එක ලේසියි

අපි හැමෝගෙම ජීවිතවල කාටවත් නොකියන අඳුරු කොටසක් තියෙනවා. කොච්චර හිනාවෙලා ඉන්න හැදුවත් සමහරවෙලාවට අපි නොහිතන විදියට මේ අඳුරු කලාපය වරින් වර අපිව රිද්දනවා. ඒ නිසාම අපි මානසිකව වැටෙනවා. ඊටපස්සෙ ලෝකෙට පේන්න හිනාවෙලා හිටියත් ඇත්තටම ඉන්න වෙන්නේ හිත ඇතුළෙන් දැවි දැවී…

ඇත්තටම කොහොමද මේ අඳුරු කලාප ජීවිතවල ඇතිවෙන්නේ? ජීවිතේ ලොකු වේදනාවක් දුන්න අමතක කරන්න බැරි සිදුවීමක්, පුංචි කාලෙදි පවුලෙ හරි, නොදන්න කෙනෙක්ගෙන් හරි අතවරයක් වෙන්න ගියානම් ඒ ගැන බයක්, පිරිසක් ඉස්සරහා ලැජ්ජාවට පත්වුණු අවස්ථාවක්, නොහිතුව විදියට වෙච්චි රැවටීමක්, ඔයාව පාවිච්චි වුණා කියලා දැනුණු සිද්ධීන් නිසා තමයි මේ අඳුරු කලාප ඇතිවෙන්නේ. සමහරවිට ඒක තවත් කෙනෙකුට ‘ඕවත් ප්‍රශ්නද?’ කියලා හිතෙන සිද්ධියක් වෙන්න පුළුවන්. ඒත් ඔයාට ඒක මුළු ජීවිතේම අනික් පැත්ත හරවපු වේදනාබර මතකයක් වෙන්න පුළුවන්.

ඉතින් කවුරුත් ගොඩක් වෙලාවට මේ අඳුරු කොටස ගැන කතා කරන්න කැමති නෑ. එහෙම අකමැති වෙන්නේ තමන්ව තවත් සමාජයෙන් කොන්වෙයි කියන බයට. තමන්ව කවුරුත් තේරුම්ගන්නේ නැතිවෙයි කියන බයට. ඊටත් වඩා තමන් තනිවෙයි කියලා දැනෙන බයට.

ඒත් මම දන්න අය ඉන්නවා තමන්ගේ අඳුරු කලාපයන්ට අභියෝග කරලා එළියට ඇවිත් ජීවිතේ ලස්සනට ගොඩනගාගත්ත අය. මමත් ඒ ගොඩේම කෙනෙක්. ඒකමයි මට මේ ගැන අද ලියන්න හිතුණේ.

මාත් අඳුරු කලාප කිහිපයක හිටියා. මුලදී මට ඒවා වෙන්කරලා අඳුරගන්න පවා අපහසු වුණා. පුංචි දවස්වල ඉඳන් හිතේ පැලපදියම් වෙලා තිබුණ යම් යම් සිද්ධි මෑතක් වෙනකන් මගේ හිතට වද දුන්නා. සමහර දේවල් මිතුරියන් එක්ක බෙදාගත්තත් ඒවා ඒ අයගේ කටින් තව අයට ගිහින් තිබ්බ නිසා පස්සේ එහෙම කියන්නත් බය වුණා.

දැන් මම කියන්නම්, කොහොමද මම මගේ අඳුරු කොටසට අහියෝග කළේ කියලා. මහලොකු දේවල් කළේ නෑ. හරිම සුළු දෙයක් තමයි කළේ. මගේ ජීවිතේ අඳුරු කලාප හැදුව සහ ඒවා ඇතුළේ විඳවන්න මට හේතු දුන්න ගැහැනු පිරිමි හැමකෙනාටම මං සමාව දුන්නා. හැබැයි ඒ කවුරුත් ඉල්ලා නෙවෙයි. ඒත් මගේ හිතෙන් මං ඒ අයට සමාව දුන්නා. ඒත් ඒ සුළු දේ කරන්න හිතට ලොකු ශක්තියක් ඕනේ, ඒක හිතට එකඟව කරන්නත් ඕනේ. එදායි මං තේරුම්ගත්තේ සමාව දීම ඇතුළේ කොච්චර ලොකු සැනසීමක් තියෙනවාද කියලා. අපේ හිතේ දැවෙන තැන්, විඳවන තැන් ඒ සමාවදීමත් එක්ක ගොඩාක් දුරට සුවපත් වෙනවා. කල් ගිහින් හරි මගේ අඳුරු කොටසෙන් එළියට එන්න මට පුළුවන් වුණ එකට මං විශ්වයට ස්තූතිවන්ත වුණා. හිතේ දුකෙන් කේන්තියෙන් තරහෙන් හිටපු කාලේ, එහෙන් පිටින්ම නැතිවෙලා ගිහින් ලොකු සැනසීමක් ලැබුණා.

දැන් ඔයලා හිතයි කාලයක් තිස්සෙම වේදනාවෙන් හිත පිරිලාම තිබිලා සමාව දෙන එක ලේසිද කියලා. ලේසි නෑ අමාරුයි. මේ ටික හොඳට මතක තියාගන්න, අපිට හොඳක් වෙන දේවලුයි කරන්න අමාරුම, ඒත් අපිට නරකක් වෙන දේවල් කරන්න ලේසියි. අඳුරු කලාප ඇතුළේම හිරවෙලා ඒවා හිත හිත තැවි තැවී දුක්වෙන්න ඇත්තටම ලේසියි. ඒත් ඒ තැනට අපිව පත්කරපු පුද්ගලයන්ට සමාව දෙන්නයි අමාරුම. හැබැයි ඒ අමාරුම දේ කරොත් විතරයි ඔයාට අඳුරු කොටසෙන් එළියට එන්නත් පුළුවන් වෙන්නේ. මං කළෙත් ඒක. බෑ කියලා දෙයක් නෑ. ඔයාට හිතුවොත් කරන්න පුළුවන්.

ඔයාගේ හිතේ කැකෑරෙන තරහට, දවස ගානේ උඩු දුවන දුකට තිත තියන්න. මේ මොහොතේ ඉඳන් ඒ හැමෝටම සමාව දෙන්න.

ඔයාට ආදරේ දෙද්දි අම්මා, තාත්තා වෙනසක් කළානම් මුලින්ම ඒ අයට සමාව දෙන්න. ඔයා වෙනුවෙන් පෙනී හිටින්න ඕනම තැනදි පෙනී නොහිටපු දෙමව්පියන්ට, සහෝදර සහෝදරියන්ට සමාව දෙන්න. ඔයාගේ පාසල් අවදියේදි ඔයාගේ දක්ෂකම නොසලකා හැරපු ගුරුවරු, ගුරුවරියන් ඉන්නවා නම් ඒ අයට සමාව දෙන්න.. පාසලේදි දවස ගානේ ඔයාව විහිලුවට ගත්තු කොන්කරපු කවුරුම හරි මතක් වෙනවා නම් එයාට සමාව දෙන්න. ඔයාව කවුරුම හරි තමන්ගේ වාසියට පාවිච්චි කරා කියලා දැනෙනවානම් ඒ අයට සමාව දෙන්න.

වෙනස් වුණ වෙනස් වෙමින් පවතින සහෝදර බැඳීම්වලට සමාව දෙන්න. පුංචිම හරි දරුණුම හරි විදියට ඔයාගේ හිත රිද්දවපු නෑයන්ට සමාව දෙන්න. රස්සාව කරන තැන ඔයාව පහලට අදින්න හදන, හොඳ මූණ පෙන්නන ගමන් පිටට පිහියෙන් අනින හැමෝටම සමාව දෙන්න. හොඳම යාළුවන්ගෙන් හිත් රිදවීම් වුණා නම් ඒවාට ඔවුන්ට සමාව දෙන්න. කේලම්වලට දෙපැත්ත කොටවන සිද්ධීන්ට අනවශ්‍ය කතාබහට ඔයාව ඉත්තෙක් කරගත්ත අයට සමාව දෙන්න.

ඔයාව හැරගියපු රවට්ටපු ප්‍රේමවන්තයාට ප්‍රේමවන්තියට සමාව දෙන්න. සුන්දර ලෝකයක් මවලා දරුවෝ එක්ක ඔයාව තනි කරපු බිරිඳට, ස්වාමිපුරුෂයාට සමාව දෙන්න.

ඔයාට අපහාස කරන හෙලා දකින හෑල්ලු කරන අවතක්සේරු කරන ගැහැනු පිරිමි ඕන කෙනෙක්ට සමාව දෙන්න.

ඔයාගේ ඔළුවට විෂ දාලා ඔයාව විනාශ කරපු අයට සමාව දෙන්න. විශ්වාස කරන්නම ඕන තැනදී ඔයාව විශ්වාස නොකරපු අයට සමාව දෙන්න. හැමෝම ඉන්න තැන ඔයාව තනිකරපු අයටත් සමාව දෙන්න. විශේෂයෙන් ඔයාව ප්‍රතික්ෂේප කරපු අයටත් සමාව දෙන්න. ඉල්ලුවා නොඉල්ලුවා ඔයා සමාව දීලා ඔයාගේ හිත නිදහස් කරගෙන ඔයාගේ අඳුරු කොටසෙන් මිදෙන්න.

ගොඩක් වෙලාවට ලේසි නැතිවෙයි. මං දන්නවා. ඒත් අමාරුම දේ කරලයි අපි ගොඩ යන්න ඕනේ. එතකොටයි අපි ශක්තිමත් කියලා අපිටම දැනෙන්නේ. සමාව දෙන එකෙන් ඔයාගේ හිත සුවපත් වෙනවා, නිදහස් වෙනවා.

ඔයාම තීරණේ කරන්න, දවස ගානේ හිත පැසව ගන්නවාද? නැත්තම් සුවපත් කරගන්නවාද කියලා. ඔයාට දුක හිතෙන හිත පාරවන දේ මතක් වෙද්දි පොඩ්ඩක් ඇස් පියන්, ‘මම ඔයාට සමාව දුන්නා’ කියලා ඔයාගේ හිතෙන්ම කියන්න. ඔයාට ලොකු සැනසීමක් දැනෙයි.

මං පවුල් උපදේශිකාවක්වත්, මනෝ උපදේශිකාවක්වත් නෙවෙයි. ඔයාලා වගේම සරල ජීවිතයක් ගෙවන සාමාන්‍ය ගැහැනියෙක්. මං ලියන්නේ මගේම අත්දැකීම්, මං අත්හදා බලලා සාර්ථක වුණ දේවල්. ඔයත් උත්සාහ කරන්න. ඔයාට පුළුවන්.

හෂීණී මනමේන්ද්‍ර