දිරිය දිනූ කතුන්

පිළිකා රෝහලේ බෝගස යට හිඳ පාඩම් කර වෛද්‍ය විද්‍යාලයට ගිය පූර්ණිමා

වැටෙන හැම මොහොතකම නැගිටින්නට සවිය දුන් ලස්සනම සිහිනයක් ඒ දෑස් අතර තිබිණි. ඒ සිහිනයේ පාට බොඳ වෙන්නට නොදී අල්ලා ගැනීම, එදා ඒ පුංචි හිතට එතරම් ලෙහෙසි පහසු දෙයක් වූයේ නැත.

ගුරු දෙමාපිය යුවළකගේ ආශිර්වාදයත්, සරස්වතියගේ ඇල්ම බැල්මත් නොඅඩුව හිමි වූ, පූර්ණිමා මධුභාෂිණී අතුකෝරලට තිබුණේ අභියෝගාත්මක ගමනකි. නමුත් ඒ අභියෝග හමුවේ එදා ඇය නතර වූවා නම් වෛද්‍යවරියක වීමේ සිහිනය අදටත් ඇයට සිහිනයක්ම වන්නට ඉඩ තිබුණි.

“මම අ.පො.ස. සාමාන්‍ය පෙළ පාස් වුණේ ඒ සාමාර්ථ නමයක් අරගෙන. එතෙක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි මම ඉගෙනීම් කටයුතු කළේ. උසස් පෙළ කරද්දී මම සිංහල මාධ්‍යයට මාරු වුණා. ඒ ජීව විද්‍යා විෂය ධාරාව යටතේ උසස් පෙළ හදාරන්න තිබුණු කැමැත්ත නිසයි. කොහොමහරි ගොඩක් බලාපොරොත්තු පොදි බැඳන් උසස් පෙළ කරන්න ගත්තට ඒ සතුට ඉක්මනින්ම මගෙන් ඈත් වුණා. ඒකට හේතුව තමයි හිටිගමන් තාත්තා හෘදයාබාධයකට ලක්වීම. ඒ එක්කම මම පාසල් ගියේ නෑ. අමතර පන්ති ගියේත් නෑ. මාස හතරක් විතර තාත්තා නවලෝක රෝහලේ ප්‍රතිකාර ගත්තා. තාත්තා ළඟ නැවතිලා එයාට සත්කාර කරන්න ඕන නිසයි එහෙම වුණේ. එහෙම සමහර දවස්වලට මම ඉස්කෝලේ ගියේ නවලෝක රෝහලේ ඉඳලා. කොහොමහරි තාත්තා යථා තත්ත්වයට එද්දි මට A/L පාඩම් ගොඩක් මගඇරිලා. ඉතින් මට ඒ වෙලාවේ හිතුණා A/L කියන්නෙ හීනයක් තමයි කියලා.”

පූර්ණිමා වදන් ගලපන්නේ සීරුවටය. ඇගේ පියා විදුහල්පතිවරයෙකුව සිටි පියරත්න අතුකෝරලය. ඔහු අද විශ්‍රාම සුවයෙන් පසුවෙයි. මව පී.ජී.මල්ලිකා ක්‍රීඩා ගුරුවරියකි. කළුතර පූර්ණිමාගේ ගම් පළාත වුවත්, පහ වසර දක්වා ඇය ඉගෙනුම ලැබුවේ පොළොන්නරුව දිඹුලාගල, නිකවතලන්ද මහා විද්‍යාලයෙනි. ඒ මවත් පියාත් එවකට සේවය කළේ එම විද්‍යාලයේ බැවිනි.

පහ වසර ශිෂ්‍යත්වයෙන් සමත්වුණු පූර්ණිමා, පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයට ඇතුළත් වන්නේ මේ අතරය. ඒ ඇයගේ මවත්, පියාත් පොළොන්නරුවේ සිටියදීය.

“මම පානදුරේ අපේ නැදෑයෝ වෙන ගෙදරක ඉඳලා ටික දවසක් ඉස්කෝලේ ගියා. පොළොන්නරුවේ කොටි කලබල නිසා අම්මටයි, තාත්තටයි මාරුවීමක් ලැබුණේ නෑ. මට අම්මයි, තාත්තයි ඒ මොහොත් මගේ ළඟ ඉන්න ඕන වුණත් ඒ අවස්ථාව ලැබුණේ නැහැ. මම පුංචි දවස්වල ඉඳලම මියුසික්වලට, ඩාන්සින්වලට දක්ෂයි. ඉතින් ගුරුවරු මට ගොඩක් උදව් කළා. එ අතරේ ඉස්කෝලෙට උදව් කරන පවුලක් හිටියා. එයාලගේ දරුවෙකුත් සුමංගලේ ඉගෙනගත්ත නිසා මටත්, ගුරුවරුන්ගේ ඉල්ලීම මත ඒ නිවසේ නවාතැන් ලැබුණා. ඔය විදිහට ඉගෙනුම කරගෙන යද්දී මම හත අට වසරේ වගේ ඉගෙනුම ලබද්දී අම්මා, තාත්තාට මාරුවීම් ලැබිලා කළුතර පදිංචියට ආවා.”
ඒ වනවිට පූර්ණිමාගේ හිත නැවතී තිබුණේ, ගායන අංශයෙන් ඉදිරියට යෑමේ අපේක්ෂාවෙනි. ඒ තීරණය දෛවය විසින් වෙනතකට යොමුකළේ අනපේක්ෂිත ලෙසය.

“ඒ 2011 අවුරුද්ද. මම එතකොට ඉගෙනගත්තේ දහය වසර පන්තියේ. රාගම මෙඩිකල් ෆැකල්ටි එකේ වෛද්‍ය ප්‍රදර්ශනයක් බලන්න යන්න මට අවස්ථාව ලැබුණා. කලාවෙන් ඉස්සරහට යන්න ඕන කියලා හිතන් හිටපු මගේ අදහස එතැනදී තමයි සම්පූර්ණයෙන්ම වෙනත් පැත්තකට යොමුවෙන්නේ.”

එදා සිට ඇය සිහින දුටුවේ වෛද්‍යවරියක වීමේ අදිටනිනි. පියා අසනීප වූයේ, ඇය ඒ සිහිනය හිත දරාගෙන උසස් පෙළ කරන්නට පටන්ගත් සමයේයි. පියාගේ තත්ත්වය යහපත් අතට හැරී පාඩම් කරන්නට හැදුවා පමණි.

“හිතාගන්නවත් බැරිවුණා ඊළඟට අහන්න සිද්ධ වුණු දේ. ඒ වෙනකොට තාත්තට ස්ටෙන්ට්ස් දාන්න, එයාගේ ප්‍රතිකාරවලට ලොකු මුදලක් වැයවෙලා අපි ආර්ථික අතිනුත් ගොඩක් අසීරු තත්ත්වෙක හිටියේ. සමහර අවස්ථාවල යාළුවෝ පවා මට සල්ලි එකතු කරලා දීලා තියෙනවා. මේ අතරේ තමයි මගේ එකම මල්ලී ගැන නරක ආරංචියක් ආවේ. එතකොට මල්ලි ඉගෙනගත්තේ නවය වසරේ පන්තියේ. මල්ලි පාසලේ බාලදක්ෂ කණ්ඩායමෙත් හිටියා. ජාත්‍යන්තර ජම්බෝරියකට ගිහින් එයා ගෙදර එද්දි එක කකුලක් හොඳටම ඉදිමිලා. මේ ඉදිමුම තැල්මක් කියලා හිතුවත්, ඒක අස්ථි රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්නුවම එය බරපතළ තත්ත්වයක් බව දැනගත්තා. නාගොඩ මහරෝහලේදි CT ස්කෑන් එකක් කරලා, පසුව මල්ලිව කොළඹ ජාතික රෝහලේ පරීක්ෂණ කිහිපයකට යොමු කළා. එහෙදි කළ බයොප්සි පරීක්ෂණයකට අනුව මල්ලිට අස්ථි පිළිකාවක් (Osteosarcoma) වැළඳිලා බව දැනගත්තා. ඒක දැනගත්තේ මගේ දහඅටවෙනි උපන්දිනය දවසේ. කොහොමහරි තාත්තාගේ අසනීපෙන් පස්සේ හිත හදන් පාඩම් වැඩවල නියැළුණත්, මල්ලිගේ අසනීපය එක්ක ආයෙම බලාපොරොත්තු කඩාගෙන වැටුණා.”

ජීවිතය එසේය. එහෙත් ඒ ජීවිතය තුළ පරදින්නට නොහැකි චිත්ත ශක්තියක් පූර්ණිමාට තිබුණි. සිය සොයුරා වන පසිඳු සංකල්ප ඒ වනවිට කොළඹ ජාතික රෝහලේ සිට මහරගම අපේක්ෂා රෝහල වෙත යොමුකර තිබුණි. පසිඳුට බෙහෙත් කළ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දමයන්ති පීරිස් මහත්මිය කියා තිබුණේ ඖෂධ දී එම තත්ත්වය පාලනය කළ හැකි නම් අස්ථි බද්ධයක් කළ හැකි බවය. එසේ නැත්නම්, කකුල කපා ඉවත් කරන්නට සිදුවෙනු ඇතැයි ද ඇය කීවාය.

“ඒ වචන කියාගන්න බැරි තරම් හිතට දුකක් ගෙනාවා. මම ඒ වෙද්දි මගේ වයසට වඩා මේ දේවල් එක්ක දුක්වෙන කෙනෙක් බවට පත්වෙලා හිටියේ. කොහොමහරි මල්ලිට දුන් ඖෂධවලින් එම තත්ත්වය අස්ථි බද්ධයකින් පමණක් පාලනය කළ හැකි බව වෛද්‍යතුමිය කිව්වා. ඒ වෙලාවේ හිතට ලොකු සතුටක් දැනුණා. කොහොමහරි උසස් පෙළ ලියන්න තව මාස කිහිපයයි. මම ඒ දවස්වලින් වැඩිහරියක් පාඩම් කළේ මහරගම පිළිකා රෝහලේ බෝ ගහ ඉස්සරහ ඉඳගෙනයි. මල්ලි කොළඹ ජාතික රෝහලේ නියුරෝ යුනිට් එකේ ඉද්දි කාණු බැම්ම උඩ ඉඳගෙනත් පාඩම් කළා. ඒ වෙලාවට හිස ඔසවද්දි මට පේනවා වෛද්‍යවරු වගේම වෛද්‍ය ශිෂ්‍යයාවෝ එහාට මෙහාට යනවා. එතකොට මම ආයේ පොත දිහා බලනවා. මගේ හිතෙත් ඇඳෙනවා ඒ දොස්තර සිහිනය.”

පූර්ණිමා ඒ සිහිනය හිත තියන් පළමුවර විභාගයට පෙනී සිටියද ඈ සිතූ සේම ලැබෙන්නේ සී සාමාර්ථ තුනක් පමණි. මේ වනවිට සොයුරාගේ ප්‍රතිකාරද යහපත් මට්ටමකට හැරී තිබුණෙන් පූර්ණිමාගේ ගෙදරද පාඩම් කටයුතු සඳහා යෝග්‍ය පරිසරයක් සැකසෙමින් තිබුණි. දෙමාපියන්ද මේ බාධක හමුවේ ඇයව ශක්තිමත් කළාය.

“මං දෙවැනි පාරට විභාගය ලියන්න තීරණය කළා. පාඩම් කළා. ඒ ගමන රිසාල්ට් එක ඒ දෙකයි බී එකයි. මම මියුසික් කළ නිසා ඒ සුදුසුකම් එක්ක මට නැගෙනහිර විශ්වවිද්‍යාලයෙන් මෙඩිසින් කරන්න අවස්ථාව තිබුණා. ඒත් මට ඕන වුණේ ඊටත් වඩා හොඳ ප්‍රතිඵලයක්. තුන්වෙනි පාරටත් මම විභාගය කළා.

ඒත් ප්‍රතිඵල එනකල් හිතට පොඩි බයක් තිබුණා. ඒ බයට හේතුව තමයි, රසායන විද්‍යාව ප්‍රශ්න පත්තරේට ලියද්දි මාව කලන්තේ දැම්මා. එහෙම වුණේ පාඩම් කරන්න නිදිමරපු නිසා. මට සිහිය ගන්න විභාග ශාලාවේ හිටපු ගුරුවරු වතුර ගහලා ඇස් අරිද්දි මගේ ප්‍රශ්න පත්තරත් තෙමිලා. මම ඒ සිද්ධිය නිසා ආයෙම විභාගේ ගැන හිත කරදර කරගත්තා. ඔය අතරේ මම ප්‍රතිඵල එනකල් ෆාමසි කෝස් එකක් කළා. ඊළඟට ෆාමසියක වැඩ කළා. ඒ වෙද්දි මල්ලි සුව අතට හැරිලා.”

එහෙත් එවර ඇයට දෛවය අසාධාරණයක් කර තිබුණේ නැත. ඇය විභාගය ඉහළින්ම සමත්ව තිබුණාය. වරක් ජීවිතයේ බලාපොරොත්තු බිඳ වැටුණ සැණින් ජීවිතයේ සියල්ල එතෙකින් නිමා වී යැයි පසුතැවිලි වන බොහෝදෙනෙකුට පූර්ණිමාගේ ජීවිතය ආදර්ශයකි.
ඒ කැපවීම නිසාම අද ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ වෛද්‍ය සිසුවියකි.

“ඉස්පිරිතාලවල ඉඳගෙන මට පාඩම් කරන්න වුණ තවත් අවස්ථාවක් තියෙනවා. ඒ කැම්පස් එකේ පළමු අවුරුද්දේ, අපිව සායනික පුහුණුවට හොස්පිටල් දාන්න කලින් විභාගයක් තියෙනවා. ඒ වෙලාවේ අම්මට ඉරුවාරදය ඇවිත් ඉස්පිරිතාලේ නතර කරලා ප්‍රතිකාර කළා. ඒ වෙද්දි මට රෝහලේ වෛද්‍යවරු පාඩම් කරන්න පහසුකම් හදලා දුන්නා.”

ඇයට තම ජීවිතය දෙස ආපහු හැරී බලද්දී දැනෙන්නේ සතුටකි. පාසල් විෂය කටයුතුවලට අමතරව ඕ සමස්ත ලංකා ජයග්‍රහණද ලබා තිබේ. ඒ අතර 2014 වසරේ සර්පිණා ඒකල වාදනයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ඇය විසින් දිනාගනු ලැබුවාය. ඊට අමතරව ඇය ක්‍රීඩාවටද ඇළුම් කළාය. සිය කාව්‍යමය දක්ෂතාව ඇය පෙන්වූයේ ‘සිප්පි කටු’ නම් කාව්‍ය සංග්‍රහය මුද්‍රණයෙන් එළිදක්වමිනි.

“ඇත්තටම ඕනම කෙනෙකුට බාධක එන්න පුළුවන්. ආර්ථික ප්‍රශ්න එන්න පුළුවන්. තමන්ගේ ගමනට අකුල් හෙලන අය හිඳීවි. අපි ඒ අයව මගහැරලා අපේ ඉලක්කයට යා යුතුයි. එහෙම නැතුව පිට කවුරුහරි කියන දේකින් අධෛර්යමත් වුණා නම් මම තුන්වෙනි පාර විභාගය කරන්නේ නෑ.”

ඇය කියන්නීය. ඇය සිය අරමුණ කරා ගියේ තම පවුලේ ආදරණීය බලාපොරොත්තුද ඉටු කරමින්, ඒ යුතුකම් හා වගකීම් සමගිනි. එවන් දියණියකට රටේ ජනතාව වෙනුවෙන් කරන්නට ඇති යුතුකම කෙදිනකවත් මග නොහැරෙන බව අපගේ විශ්වාසයයි.

දීපා වසන්ති එදිරිසිංහ