News

පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් වසරකින්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වසරක් ඇතුළත කෙටුම්පත් කර අවසන් කිරීමට රජය සැලසුම් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය පසුගිය බදාදා (02 වැනිදා) ලැබුණි. කෙටුම්පත් කිරීම සඳහා විශේෂඥ මණ්ඩයක්ද ස්ථාපිත කරන ලදී.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් එම විශේෂඥ මණ්ඩලයට අධිකරණ අමාත්‍යාංශය ලබන සතියේ දී පත්වීම් ලිපි ලබා දීමට සැලැසුම් කර ඇත. මෙම විශේෂඥ මණ්ඩලයට, කාර්යාලයට සහ කාර්යය මණ්ඩලයට රුපියල් මිලියන 100ක මුදලක් වැය වන බව ඇස්තමේන්තු කර තිබේ.

කෙසේ වෙතත් විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරි දෙසතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. එම සංශෝධන යෝජනාවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව සමගි ජනබලවේගය සභ දෙමළ ජාතික සන්ධානය මේ වන විට ප්‍රකාශ කර ඇත.

එසේ වුවහොත් විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කිරීම තවත් ප්‍රමාද වන බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

උදයජීව ඒකනායක