News

‘‘පූර්ව නඩු විභාග ක්‍රමයක්’’ හඳුන්වාදීමට අධිකරණ අමාත්‍යාංශය සූදානම් වෙයි

විසඳීමට ඇති ලක්ෂ අටකට ආසන්න නඩු කඩිනමින් විභාග කර අවසන් කිරීම සඳහා ‘‘පූර්ව නඩු විභාග ක්‍රමයක්’’ හඳුන්වාදීමට අධිකරණ අමාත්‍යාංශය සූදානම් වෙයි.

පූර්ව නඩු විභාග ක්‍රමයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණයේ විභාග වන නඩු හැර පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණ, වාණිජ මහාධිකරණ, විශේෂ මහාධිකරණ, මහාධිකරණ, දිසා අධිකරණ, මහෙස්ත්‍රාත් අධිකරණ, ළමා මහෙස්ත්‍රාත් අධිකරණ හා කම්කරු විනිශ්චය සභාවල මෙතෙක් විසඳීමට ඇති නඩු විභාග කිරීමට නියමිතය.

අධිකරණ අමාත්‍යාංශ වාර්තාවලට අනුව 2019 වසර අවසාන වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 4767ක්ද. අභියාචනාධිකරණයේ නඩු 4065ක්ද විභාග කිරීමට ඉතිරිව තිබුණි. මහෙස්ත්‍රාත් අධිකරණවල නඩු 493,813ක්ද දිසා අධිකරණවල නඩු 234,058ක්ද විසඳීමට ඇති අතර වාණිජ මහාධිකරණවල නඩු 6813ක්ද විභාග කිරීමට ඉතිරිවී ඇත. ළමා මහෙස්ත්‍රාත් අධිකරණවල නඩු 1158ක්ද කම්කරු විනිශ්චය සභාවල නඩු 4332ක්ද නඩු විභාග කිරීමට ඉතිරිව ඇති බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

පූර්ව නඩු විභාග ක්‍රමයේ දී අධිකරණ භූමියේ වෙනත් ස්ථානයක තාවකාලික අධිකරණයක් ස්ථාපිත කර විනිසුරුවරුන් දෙදෙනකුගේ ප්‍රධානත්වයෙන් නඩු විභාග කෙරේ. එහි දී නීතිඥවරුන්ගේද කරුණු දැක්වීම් මත ඉදිරියට පවත්වාගෙන යා හැකි නඩු තෝරා ගැනීමක් සිදු කර ඉදිරියට පවත්වා ගෙන යෑමට නොහැකි නඩු කටයුතු අවසන් කෙරෙන බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා නීති රීති වෙනස් කිරීම සඳහා වූ යෝජනා අධිකරණ අමාත්‍ය අලි සබ්රි විසින් අමාත්‍ය මණ්ඩලයටද ඉදිරිපත් කර ඇත. එහි දී දෛනිකව වාර්තා වන නඩු ප්‍රමාණය විසඳීම සඳහා සිටින විනිශ්චයකාරවරුන්ට දරාගත නොහැකි තත්ත්වයන් බවට පත්ව ඇතැයි අධිකරණ අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියනයකට විනිසුරුවරුන් 15ක් සිටින අතර රුසියාවේ එම සංඛ්‍යාව 242ක්ද, ජර්මනියේ 230ක්ද වෙයි. විනිසුරුවරුන් වැඩි කිරීම ඉදිරි වසර තුන තුළ අවසන් කිරීමටද අමාත්‍යාංශය තීරණය කර ඇත.

උදයජීව ඒකනායක