News

පෙට්‍රල් බැරල් ලක්ෂ 9ක් මිලදී ගන්න අනුමැතිය

පෙට්‍රල් බැරල් ලක්ෂ නවයක් මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන ඊයේ (16 වැනිදා) ප්‍රකාශ කළේය.

ඔක්තෝබර් 14 වැනිදා දක්වා මාස නවයක කාලයකදී පෙට්‍රල් බැරල් ලක්ෂ දහඅටක් මිලට ගැනීම සඳහා මේ වන විටත් සිංගප්පූරුවේ විටෝල් ඒෂියා නමැති සමාගමට දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් පිරිනමා ඇත.

එම ප්‍රසම්පාදනයෙන් සියයට පනහකට සමාන ප්‍රමාණයක් පවතින කොන්දේසි හා නියමයන් යටතේ මිලදී ගැනීමට විදුලි බල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර විසින් ඇමැති මණ්ඩලයට ​ඉදිරිපත් කළ යෝජනාවට මෙසේ අනුමැතිය හිමිවී තිබේ.

ස්ථාවර තොග පවත්වාගෙන යාම සඳහා මෙසේ පෙට්‍රල් මිලට ගන්නා බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ පැවසීය.

ලෝක වෙළෙඳපොළේ පවතින ඉන්ධන මිලට අනුව එහි වාසිය ලබා ගැනීමද මෙසේ පෙට්‍රල් තොගයක් මිලට ගැනීමේ හේතුවක් විය හැකි බව ඇමැති බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.

 

අජිත් අලහකෝන්