පොල් මිල පාලනයට සැලසුම්
පොල් කිරි අපනයනය කරන සමාගම් මගින් පොල්වලට විශාල ඉල්ලුමක් තිබීම හේතුවෙන් පොල් මිල අඩු කිරීම පිළිබඳව ගැටලුවක් පැනනැගී තිබෙන බවත්, පොල් මිල අනවශ්‍ය ලෙස ඉහළ යෑම පාලනය කිරීමට කටයුතු කරන බවත් පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ජයන්ත වික්‍රමසිංහ පැවැසුවේය.
පුද්ගලික සමාගම් විසින් පොල් කිරි නිෂ්පාදනය කර අපනයනය කිරීම සඳහා පොල් වැඩි මිලකට මිලදී ගන්නා බවද ඔහු කියයි.
‘ජනතාව පොල් ගෙඩියෙන් නිසි කිරි ප්‍රමාණය නොගැනීම නිසා විශාල නාස්තියක් සිදුවේ. නිසියාකාරව පොල් පරිභෝජනය කරනවා නම්, රටේ පොල් නාස්තිය සියයට 35ත් 40ත් අතර ප්‍රමාණයකින් අවම කරගත හැකිය. මෙරට වාර්ෂික පොල්ගෙඩි පරිභෝජනය මිලියන 1800ක් බවත්, පොල් ගෙඩියෙන් නිසියාකාරව ප්‍රයෝජනයට ගන්නේ නම් පොල් ගෙඩි මිලියන 600ක් නාස්ති නොවන බවද ඔහු කීවේය.
නිසියාකාරව පොල් ගෙඩියක් පාරිභෝජනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ඇරඹීමට කටයුතු යොදා ඇති බවත්, ළඟදීම ගොවිජන සේවා දෙපාර්තමේන්තු කාර්යාලය හරහා පොල් පැළ නිකුත් කිරීමේ වැඩසටහනයක් ක්‍රියාත්මක කරන බවද සභාපතිවරයා කියයි.
පොල් අලුතින් වගා කරන්න ඉඩම් සොයන බවත්, දැනට තියෙන පොල් ඉඩම්වල සශ්‍රීකත්වය වැඩිකිරීමටද පොල් සංවර්ධන අධිකාරිය, පොල් වගා කිරීමේ මණ්ඩලය, පොල් පර්යේෂණ ආයතනය කටයුතු යොදා ඇත. අනවශ්‍ය ලෙස පොල් මිල වැඩිවීම පාලනය කිරීම සඳහා පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමග සම්බන්ධ වීමට බලාපොරොත්තු වන බවද පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
සාලිය කුමාර ගුණසේකර
