පොලීසිය’ සිංහල මුස්ලිම් ගින්න නිවා දමයි
සිංහල සහ මුස්ලිම් ජනතාව වෙසෙන තඹලගමුව පොලිස් වසමේ කායම්වාඩිය ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක පෙරේදා (21 වැනිදා) පැවැති පාපන්දු තරගයකින් අනතුරුව මුස්ලිම් හා සිංහල තරුණයන් දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාම නිසා කීප දෙනෙකුම තුවාල ලබා ඒ අසල තිබූ නිවෙස් හතරක වැටවල්වලට සුළු අලාභ හානි සිදුවී තිබේ.
මෙම ගැටුමෙන් තුවාල ලද එක් අයෙකු කන්තලේ රෝහලටත් තිදෙනෙකු තඹලගමුව රෝහලටත් ඇතුළත් කර ඇති අතර ගැටුමට සම්බන්ධ දෙපිරිසේම පස්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ගැටුම නිසා දෙපාර්ශ්වය අතර ඇතිවීමට ගිය ජාතිවාදී ගැටුම පොලිසියේ මැදිහත්වීමෙන් සමථයකට පත්විය.
පොලිසිය දෙපාර්ශ්වයේම නියෝජිතයන් සංඝරත්නය සහ මවුලවිවරුන් තඹලගමුව පොලිස් ස්ථානයට කැඳවා සාකච්ඡාවක් පැවත්වූ අතර මෙහි දී දෙපාර්ශ්වයටම කරුණු පැහැදිලි කර ඉදිරියට මෙවැනි සිද්ධීන් ඇති නොවීමට සහ පෙර මෙන් සංහිඳියාවෙන් ජීවත්වීමට උපදෙස් දීමෙන් සිදුවීම සමථයකට පත්විය.
මහින්ද සේනාරත්න – කන්තලේ
