News

බණ කියලා යාඥා කරලා උද්ඝෝෂකයෝ එළවන්න බැහැ-ආරක්ෂක ලේකම්

රට ඇරපු ගමන් රටේ ජනතාවගේ ජීවිත අවදානමකට ලක්කරමින් උසාවි නියෝගද නොතකා ඇමරිකාවට පාඩම් උගන්වන්න පැමිණි නිසා පෙරටුගාමී උද්ඝෝෂණයට එක්වූ උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගැනීමට සිදුවූ බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ‘අරුණ’ට පැවසීය.

උද්ඝෝෂණ කරලා අපි ඇමරිකාවට පාඩම් උගන්වන්න, ඇමරිකාවට හැසිරෙන හැටි කියලා දෙන්න යෑමෙන් අපේ රටේ අහිංසක මිනිසුන්ගේ ජීවිත අවදානමකට ලක් වෙනවා.

උද්ඝෝෂණ කිරීමට වෙන්කළ තැන්වල තව සතියක් දෙකක් ඉවසා උද්ඝෝෂණ කරන්න පුළුවන්’’ යැයි ආරක්ෂක ලේකම්වරයා පවසයි.

උසාවි නියෝග ගත්තේ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට තියන උද්ඝෝෂණ නවත්වන්න. ඒත් ලිප්ටන් වටරවුම ඉදිරියට යනවා කියලා දැනගෙන හිටියේ නැහැ.

රටේ සිවිල් නීතිය අනුව අධිකරණ නියෝගයක් ගත්තා. නිරෝධායන නීති අනුව මේ වගේ රැස්වීම් උද්ඝෝෂණ කරන්න බැහැ. ඒ වගේ ප්‍රචණ්ඩශිලී විදියට උද්ඝෝෂණ කරද්දී හාමුදුරු කෙනකු ගෙනවිත් බණ දේශනා කළාට පිරිත් දේශනා කළාට නැත්නම් පූජකතුමෙක් ගෙනල්ලා යාඥා කරලා උද්ඝෝෂකයෝ පිටත් කරන්න බැහැ. උසාවි නියෝගය මේ අය තඹ ​දොයිතුවකට මායිම් කරන්නේ නැත්නම් රටේ ජනතාවගේ සෞඛ්‍ය ගැන ඇති අවදානම මායිම් කරන්නේ නැත්නම් නීතිය ඉදිරියට පමුණුවන්න ඕන.

ඕනනම් පොලිසියට අත්අඩංගුවට ගත් 53 දෙනා දවස් 14ක් රිමාන්ඩ් කරන්න තිබුණා. නමුත් ඒ අයගේ සෞඛ්‍ය ගැන හිතලා එහෙම කළේ නැහැ. යැයිද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා