News

බත් පත මංකොල්ල කන මාෆියාවකට ඉඩ තියන්න බෑ

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණි වහාම යහපාලන ආණ්ඩුව විසින් අකර්මණ්‍ය කර තිබූ වී අලෙවි මණ්ඩලය නැවත පණ ගන්වා රුපියල් 50ක සහතික මිලක් වීවලට දී තිබියදී වී මාෆියාකරුවන් එය අකර්මණ්‍ය කිරීමේ චේතනාවෙන් කටයුතු කර ඇති බව හිටපු රාජ්‍ය ඇමැති ​රොෂාන් රණසිංහ පැවැසීය.

ඔහු මේ බව පැවැසුවේ පොලොන්නරුව දිස්ත්‍රික් සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය විසින් රජයේ සහතික මිල වන රුපියල් 90ට සහල් කිලෝ ග්‍රෑම් ලක්ෂයක් සතොසට භාර දීමේ වැඩසටහනකට පෙරේදා (26 වැනිදා) එක් වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හිටපු රාජ්‍ය ඇමැතිවරයා මෙසේද කීවේය.

‘‘පොලොන්නරුව දිස්ත්‍රික් සහල් නිෂ්පාදනය කරන්නන්ගේ සමුපකාර සංගමය විසින් සහල් කිලෝග්‍රෑම් ලක්ෂයක් සතොසට භාර දීලා තියෙනවා. මේ තමයි ව්‍යාපාරික මහත්වරු. ශති නාමය යටතේ මේ සහල් කිලෝග්‍රෑම් ලක්ෂය සතොසට ලබා දීමේ වැඩපිළිවෙළේ මුල් අදියර මාව මුණ ගැහිලා නිල වශයෙන් මේ විදියට ආරම්භ කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි සුබ පතනවා.

මේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමිකරුවන් තව ශක්තිමත් කරන්න ඕනෑ. දිරිගන්වන්න ඕනෑ. මේ මග පෙන්වීමෙන් තමයි පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට සහල් ලබා දෙන්න පුළුවන් වෙන්නේ. ඊළඟ යල කන්නයේ දී අපි උපාය උපක්‍රම භාවිත කරන්න බලාපොරොත්තු වෙනවා. වී අලෙවි මණ්ඩලය අකර්මණ්‍ය කරන චේතනාවෙන් වී මාෆියා කාරයෝ කටයුතු කරලා තියෙනවා.

අපි මොකක් හරි වැඩපිළිවෙළක් ගෙනාවම ඒකෙන් රිංගන්න තැනක් හොයාගත්තාම ඒක වහන එක තමයි අපි කරන්න ඕනෑ. ඊළඟ කන්නයේ අපි යොදන වැඩපිළිවෙළිනුත් රිංගන්න බලයි. හැබැයි ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මේ වී මාෆියාකරුවන්ගේ රිංගන තැන් වහනවා. ඉදිරි යල කන්නයේ ප්‍රසිද්ධියේ නොකීවාට තීන්දු තීරණ රැසක් ගන්නවා මේ ගොවි ජනතාව වෙනුවෙන්.

ජනාධිපතිවරයාගේ අගමැතිවරවරයාගේ අපේ පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ නිර්දේශයත් එක්ක මට ලැබෙන්නේ මහවැලි අමාත්‍යාංශය කියන එක විශ්වාසයි. මට ඒ අමාත්‍යාංශය ලැබුණොත් මහවැලිය මගින් ස්ථාන තුනක වී මෝල් ආරම්භ කරනවා. ඒ වාගේම සතොස යටතේ වී මෝල් දෙකක් තියෙනවා.

විශේෂයෙන්ම හිඟුරක්ගොඩ වීමෝල මගේ අධීක්ෂණය යටතේ නැවත අලුත්වැඩියා කරලා උපරිම ධාරිතාවෙන් සහල් ලබා දෙනවා. සමුපකාර සමිතිවල වැහිලා ගිය වී මෝල් තිබුණා. ඒවා වැහෙන්න වී මාෆියාකාරයෝ සෘජුව හෝ වක්‍රව පසුගිය කාලේ කටයුතු කළා. ඒ වී මෝල් ටිකත් ආරම්භ කරනවා. ඒ වගේම පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි සංවිධානවලට අපි දිරිගැන්වීම් කරනවා කුඩා පරිමාණයේ වී මෝලක් ආරම්භ කරන්න. පොලොන්නරුවේ පමණක් නෙමෙයි මුළු රටේම ගොවි සංවිධානවලටයි අපි එය කියන්නේ.

මේ රටේ දෙකෝටි විසි ලක්ෂයක් ජනතාව වෙනුවෙන් 2015 දී බොරු පොරොන්දු දීලා බලයට ආපු යහපාලන ආණ්ඩුව නතර කරපු සංවර්ධන වැඩපිළිවෙළ යළි ආරම්භ කරන්න අපි ලොකු අරගලයක් කරනවා. ආර්ථික අමාරුකම්වලින් පෙළෙන ජනතාව අපේ රටේ ඉන්නවා. කන බත් පත මංකොල්ල කන්න මාෆියාවකට ඉඩ තියන්න බෑ දේශීය ව්‍යාපාරිකයෝ අපි ගොඩගන්න ඕනෑ.

මේ මාෆියාකාරයන් සමාජ මාධ්‍ය තුළ කියනවා නම් දේශීය ව්‍යාපාරිකයන්ට ගහනවා කියලා මේ දේශීය ව්‍යාපාරිකයෝ නෙමෙයි දේශීය මාෆියාකාරයෝ. ඒ මෝල්වල හැදුවත් මේ මෝල්වල හැදුවත් සහල් සහල්මයි. ඒකේ වෙනසක් නෑ. එහෙන් මෙහෙන් වෙට්ටුදාලා යන්න දෙන්න බෑ. අපි මේ සුළු හා මධ්‍යපරිමාණ සහල් නිෂ්පාදකයන්ගේ සමුපකාර සංගමයට සහාය දෙනවා.

ප්‍රියන්ත බණ්ඩාර