News

බන්ධනාගාර තදබදය කඩිනමින් අඩු කිරීමට පියවර

රැඳවියන් දොළොස් දහසක පමණ අතිරේක ධාරිතාවකින් යුත් මෙරට බන්ධනාගාරවල තදබදය වහාම අඩුකරමින් කොවිඩ්-19 වසංගතයෙන් සිරකරුවන්ට ඇතිවිය හැකි අවදානම අවම කිරීම සඳහා නිදහස් කිරීමට හැකියාව පවතින සිරකරුවන් මුදා හැරීමට අවශ්‍ය පියවර නිර්දේශ කිරීම සඳහා තමන් සිදුකරන අධ්‍යයනය කඩිනම් කර ඇතැයි ජනාධිපති නීති අධ්‍යක්ෂ හරිගුප්තා රෝහණධීර පැවසීය.

ජනාධිපති සමාව අයැදුම්කර ඇති වැරදිකරුවන්ගේ අභියාචනා විභාග කිරීම, ඇප නොගෙවීම මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇති පුද්ගලයන් නිදහස් කිරීම ඇතුළු කරුණු ගණනාවක් සලකා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විශේෂ සය පුද්ගල කමිටුවක් පත් කර ඇත. එහි ප්‍රධානියා වන්නේ ජනාධිපති නීති අධ්‍යක්ෂවරයායි.

‘‘රටේ බන්ධනාගාරවල විසිහය දාහසක විතර රැඳවූවන් පිරිසක් ඉන්නවා. නමුත් බන්ධනාගාරවල උපරිම ධාරිතාව දාහතර දාහයි. කොවිඩ් තත්ත්වයත් එක්ක මේ සංඛ්‍යාවෙන් සැලකිය යුතු කොටසක් පිටතට ගැනීමේ අවශ්‍යතාවක් මතුවෙලා තිබෙනවා. මේ අය නිදහස් කිරීම යම් ප්‍රමිතියකට සිදුකළ යුතුයි. ඒ සඳහා නිර්ණායක හදන්න තමයි මම ඇතුළු හය දෙනෙක්ගෙන් යුත් කමිටුවක් ජනාධිපතිතුමා විසින් පත් කළේ.

මෙතැනදී අප විශේෂයෙන්ම වයස සැලකිල්ලට ගන්නවා. හැටට වැඩි අය ගැන විශේෂ අවධානයක් යොමුකරනවා. ඒ වගේම අවුරුදු විස්සක පමණ සිරදඬුවමින් අවුරුදු පහළොවක පමණ කාලයක් සිරගතව සිටි අය පිළිබඳවත් අවධානය යොමුකරනවා.

වකගුඩු රෝග වගේ සැලකියයුතු වෛද්‍ය අවශ්‍යතා සහිත පුද්ගලයන් පිළිබඳව වගේම වරදේ ස්වභාවය ගැනත් අපි සලකා බලනවා. රුපියල් දෙදහස් පන්සීයක හොරකමට අවුරුදු පහක් හිරේ ගිය අය ඉන්නවා. ඒකෙනුත් අවුරුදු දෙකක් විතර ගෙවී ඇති නම් ඒ අයවත් අපි සලකා බලනවා’’.

මීට අමතරව විශාල කාලයක් නඩු ප්‍රමාදවීමෙන් අනතුරුව දඬුවම් නියම වූ පුද්ගලයන් පිළිබඳවද සමාව දීමට නිර්දේශ කිරීමේදී සලකා බලන බව ප්‍රකාශ කළා. නීති අධ්‍යක්ෂවරයා ඊට අදාළ නිර්දේශ සකස් කිරී‍මේ කටයුතු කඩිනම් කර ඇතැයි පැවසීය.

එසෙම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රැඳවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට යොමු කිරීම මෙන්ම 8000ක් පමණ රිමාන්ඩ් රැඳවූවන්ගෙන් කොටසක් මුදා හැරීම පිළිබඳව සිය කමිටුව නිර්දේශ ඉදිරිපත් කරන බව නීති අධ්‍යක්ෂ රෝහණධීර වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

නයන තරංග ගමගේ