News

බ්‍රැන්ඩික්ස් රැල්ලේ මුල හොයන්න ගිය සී.අයි.ඩී.යේ 20ක් ආසාදිතයි

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොවිඩ් වයිරසය ව්‍යාප්ත වූයේ කෙසේදැයි යන්න විමර්ශනයට සහභාගීවූ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසි දෙනකුටද කොවිඩ් වැලඳී ඇති බව මහජන සාමය පිළිබඳ ඇමැති සරත් වීරසේකර ඊයේ (07 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.

නීතිපතිවරයාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මෙම විමර්ශන කටයුතු ආරම්භ කර දින දෙකක් ගත වෙද්දී එම නිලධාරීන් හැත්තෑ දෙනෙකුට කොවිඩ් ආසාදනය වූ බව ඇමැතිවරයා කීවේය. මේ නිසා එම විමර්ශන කටයුතු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් බව කී ඇමැතිවරයා බ්‍රැන්ඩික්ස් ආයතනයේ සියයකගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගනිද්දී එම කටයුත්ත කළ නිලධාරීන් විසි දෙනකුද කොවිඩ් ආසාදිතයන් බවට පත්වූ බව පැවැසුවේය.

බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයන් 1500 ක පමණ පිරිසකට කළ පීසීආර් පරික්ෂණවලින් 400 කට පමණ වයිරසය ශරීරගතව නැති බවට හඳුනාගෙන ඇතැයිද ඔවුන් කොවිඩ් වැලඳී සුවපත්වූ අයදැයි තහවුරු කර ගැනීම සඳහා ඇන්ටිජන් පරික්ෂාවක් කිරීමට කටයුතු කරන බවද පැවැසුවේය.

බ්‍රැන්ඩික්ස් ආයතනයේ විදේශිකයන් හත් දෙනකු සේවය කරන අතර ඉන් එක් අයෙකු එංගලන්තයට ගොස් යළි පැමිණ නිරෝධායනය වී ඇතැයිද, ඉන්දියාවේ විශාකාපට්න්ම් සිට පැමිණි සේවකයන් 343 දෙනකුගෙන් 10 දෙනකුට කොවිඩ් වැලඳී තිබූ බව මේ දක්වා කළ විමර්ශනවලින් අනාවරණය වී ඇතැයිද ඇමැති සරත් වීරසේකර පැවැසුවේය.

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.

අජිත් අලහකෝන්