News

බීරූට් වරායේ යළිත් ගින්නක්

ලෙබනනයේ බීරූට්හි වරාය පරිශ්‍රයේ යළිත්විශාල ගින්නක් හටගෙන ති​බේ.

පසුගිය අගෝස්තු 04 වැනිදා මෙම වරායේදී ඇමෝනියම් නයිට්‍රේට ටොන් තුන්දහසකට ආසන්න ප්‍රමාණයක පිපිරීමක් සිදුවීමෙන් මාසයකට පසු හටගෙන ඇති මෙම නව ගින්න හේතුවෙන් බීරූට් වැසියන් දැඩි භීතියට පත්ව සිටින බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ගින්න හට ගෙන ඇත්තේ වරායේ ‘තීරුබදු රහිත කලාපයේ’ තෙල් සහ ටයර් තැන්පත් කර ඇති ගබඩාවකය. ගින්න මැඬපැවැත්වීම අඛණ්ඩව සිදුවන බවත්, හමුදා හෙලිකොප්ටර් සහාය ඊට ලබා ගෙන ඇති බවත් ලෙබනනයේ හමුදාපති සඳහන් කර ඇත.

වරාය ආසන්නයේ කාර්යාල සහ සමාගම් සිය සේවක පිරිස්වලට වහාම ඉවත් වන ලෙස දැනුම් දී තිබේ. එසේම වරාය අවට ප්‍රධාන මාර්ග සම්පූර්ණයෙන්ම වසා දමා ඇත.

මේ පිළිබඳව බීරූට් හි ශ්‍රී ලංකා තානාපති ශානි කරුණාරත්නගෙන් ‘අරුණ’ කරන ලද විමසීමකදී ඇය සඳහන් කළේ වරායේ සිට කිලෝමීටර් දහයක් පමණ දුරින් පිහිටි සිය තානාපති කාර්යාලයටද මෙම ගින්න පැහැදිලිව දර්ශනය වන බවයි.

සාමාන්‍යයෙන් පස්වරු 4.30 දක්වා තානාපති කාර්යාලය සේවා කටයුතු වෙනුවෙන් විවෘත නමුත් මෙම ගින්න හමුවේ පැන නැගී ඇති අවිනිශ්චිතතාව හේතුවෙන් නියමිත කාලයට පැය එක හමාරකට පමණ පෙර තානාපති කාර්යාලය වසා දැමීමට කටයුතු කරන බවද තානාපතිනිය සඳහන් කළාය.

නයන තරංග ගමගේ