News

භාණ්ඩ රැසක ආනයන තහනම ඉවතට වෙළෙඳ බද්ද සංශෝධනය වෙයි

රජය විසින් ආනයන සීමාවන් යළිත් වරක් සංශෝධනය කර ඇති අතර එමගින් තාවකාලික තහනමක් පනවා තිබූ භාණ්ඩ රැසක් නිදහස් කර ඇත. දේශීය නිෂ්පාදන සඳහා ආනයනය කළ යුතු අමුද්‍රව්‍ය මේවාට ඇතුළත් වේ.

ඒ අනුව විදුලි සංදේශ කර්මාන්තය සඳහා භාණ්ඩ ආනයනය කිරීම (අදාළ බදු සහ රෙගුලාසිවලට යටත්ව) මෙන්ම තොරතුරු තාක්ෂණ උපකරණ සහ පරිගණක උපාංග, ජංගම දුරකථන සහ ඉලෙක්ට්‍රොනික උපකරණ ආනයනය කිරීමටද දේශීය එකලස් කිරීමේ කර්මාන්තය සහ තොරතුරු තාක්ෂණ ආශ්‍රිත ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම සඳහා අවසර දිය යුතු බවටද ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර රේගු අධ්‍යක්ෂ ජනරාල් වෙත දැනුම් දී ඇත.

කාෂිකාර්මික නිෂ්පාදන ඇතුළු විවිධ භාණ්ඩ සඳහා විශේෂ වෙළෙඳ බද්ද මෙමගින් සංශෝධනය කර ඇත. මෙම ලැයිස්තුවේ ඇති යෝගට්, අර්තාපල්, පරිප්පු, ලූනු, සීනි සහ ධීවර නිෂ්පාදන ඇතුළු අනෙකුත් සියල්ල ආනයනය කිරීම තහනම් හෝ සීමා කර ඇති බවද ආචාර්ය ජයසුන්දරගේ උපදෙස්වල සඳහන් වේ.

නයන තරංග ගමගේ