මත්තලට සිදු වූ හානියේ වාර්ථාව සතියකින්
පසුගිය රජය සමයේ මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කිරීමෙන් සිදු වූ හානිය පිළිබඳ ව ගණනය කර සතියක් ඇතුළත වාර්තාවක් ලබා දෙන්න යැයි සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග ගුවන් තොටුපළ බලධාරින්ට උපදෙස් දී තිබේ.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ දී එම නිලධාරීන් සමග පැවැති විශේෂ සාකච්ඡාවකදීය.
මෙම සාකච්ඡාවේ දී වෘත්තීය සමිති නියෝජිතයන් පෙන්වා දුන්නේ මත්තල වී ගබඩා කිරීම නිසා සිදු වූ හානිය සම්බන්ධයෙන් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම නිවැරදි තක්සේරුවක් මෙතෙක් කර නොමැති බවයි.
පසුගිය යහපාලන රජය බලයට පත්වීමෙන් පසු 2015 යල කන්නයේ දී හම්බන්තොට මත්තල ගුවන් තොටුපළේ කාර්ගෝ ගොඩනැගිල්ලක වී මෙට්‍රික් ටොන් 4000 ක් ගබඩා කිරීමට කටයුතු කළේය. යල කන්නයේදී වී ගබඩා කිරීම සඳහා අවශ්‍ය ගබඩා පහසුකම් නොමැති බව පවසමිනි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී මෙට්‍රික් ටොන් 8100 ක් ගබඩා කිරීම සඳහා පහසුකම් තිබිය දී මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කළ බවට එවකට විපක්ෂ මන්ත්‍රීවරයෙකු වූ නාමල් රාජපක්ෂ යහපාලන රජයට චෝදනා කළේය.
එවකට අගමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහගේ උපදේශකවරුන් වන චරිත රත්වත්තේ සහ ආර්.පාස්කරලිංගම් යන අයගෙන් සමන්විත ඉහළ පෙළේ කමිටුවක් විසින් මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කිරීම සඳහා උපදෙස් ලබා දී තිබිණි. වී ගබඩා කිරීම සඳහා යොදා ගැනුණේ මත්තල ගුවන් තොටුපළේ කෝටි 200ක අධික වටිනාකමකින් යුතු ගොඩනැගිල්ලකි. එක්ස් රේ ස්කෑන් යන්ත්‍ර, අධි තාක්ෂණික උපකරණ, වායු සමීකරණ යන්ත්‍ර, අධි ශීතකරණ කාමර සහිත ගොඩනැගිල්ලක් වූ මෙහි සංවේදි උපකරණ ගලවා
ඉවත් කර වී ගබඩා කිරීම සඳහා යොදා ගත් බවට චෝදනා නැගී තිබේ. වී ගබඩා කිරීම හේතුවෙන් එම ගොඩනැගිල්ලේ වායු සමීකරණ පද්ධතියට, විදුලි පද්ධතියට, ගුවන් යානා ගොඩ බැස්සවීමේ විදුලි ආලෝක පද්ධතියට හානි සිදුව ඇතැයි මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ පරීක්ෂණවලදී අනාවරණය විය.
ශිරන්තනි මානවඩු
