News

මධ්‍යසාර සහ එතනෝල් නිෂ්පාදනයට බඩඉරිඟු භාවිතය මුළුමනින්ම තහනම් කෙරේ

මධ්‍යසාර හා එතනෝල් නිෂ්පාදනයට බඩඉරිගු භාවිතය සම්පූර්ණයෙන් තහනම් කර ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස සුරාබදු කොමසාරිස්වරයාට ජනාධිපතිවරයා විසින් නියෝග කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශ සදහන් කළේ ගොවීන්ගේ කහ, බඩඉරිගු ඇතුළු අස්වනු මිලදී ගැනීමේදී සිදුවන අක්‍රමිකතා නතර කිරීමට මැදිහත්වැන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විෂයබාර රාජ්‍ය අමාත්‍යවරයා සහ නිලධාරීන්ට නියම කළ බවයි.

දේශීය ගොවීන් කහ සහ බඩඉරිගු වගාව ඉතා සාර්ථක පුළුල් කර ඇති බවත්, ඉදිරි මාස් කන්නයේ අස්වනු නෙලීම ආසන්නව පවතින බැවින් ගොවීන්ට සාධාරණ මිලක් හිමි විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

2021 සහ 2022 මාස් කන්න සදහා ඉහළ ප්‍රමිතියෙන් යුත් බීජ රැස් කිරීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාව ද ජනාධිපතිතුමා අවධාරණය කරයි. කූට ව්‍යාපාරිකයින් නීති විරෝධී ලෙස ආනයනය කරන කහ තොග විනාශ කරන්නැයි එතුමා නියෝග කර තිබේ.

අක්‍රමිකතාවන්හි නිරත වන ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ පොලිස්පතිවරයා උපදෙස් දී ඇත.

එමෙන්ම කහ, බඩඉරිගු මෙන්ම කව්පී. උදු, මුංඇට, තල, කුරහන් ආදී ධාන්‍ය තොග රැස් කරන්නන්ට ණය දීම වෙනුවට පුළුල් වෙළෙදපොළක් සහතික කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා විසින් අවධාරණය කරයි.

ව්‍යාපාරිකයන් හදුනාගනිමින් ණය මුදල්වල්ට සරිලන භාණ්ඩ තොග තොරතුරු පවත්වා ගන්නා ලෙස බැංකුවලට උපදෙස් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය අධීක්ෂණ කාර්යයන් සංවර්ධන මූල්‍ය සම්පාදනයට යොමු කළ යුතු බවද රාජපක්ෂ මහතා විසින් දැනුම් දී තිබේ.

සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ගොවි ජන සේවා කොමසාරිස්වරුන් සහ ක්ෂේත්‍ර මට්ටමේ සියලු නිලධාරීන් ගොවි අස්වනු සාර්ථකව මිලදී ගෙන ගොවි ජනතාව ශක්තිමත් කළ යුතු බව ජනපති විසින් අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

එමෙන්ම සේනා දළඹු උවදුර වැනි කෘමීන්ගෙන් වන හානි වළක්වා ගැනීමට අවධානයෙන් සිටින ලෙසත් ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දී ඇත.