මන්ත්‍රී ප්‍රේමලාල් දිවුරුම් දෙයි – මැති සබය උණුසුම් වෙයි
මරණ දඬුවමට ලක්ව සිටින රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙන අවස්ථාවේ දී විපක්ෂයේ සමගි ජන බලවේගයේ මන්ත්ර්රීවරුන් නැගිට ඝෝෂා කරමින් විරෝධය දැක්වීම නිසා සභා ගැබ පැය භාගයක පමණ කාලයක් දැඩි උණුසුම්කාරී තත්ත්වයකට පත් විය.
කළු පැහැති සාටක පැලඳ සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් මෙසේ කෑ ගසමින් කලබලකාරී ලෙස හැසිරෙද්දී ඊට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ද කෑ ගැසීම නිසා සභාව එකම ගාලගෝට්ටියක් බවට පත් විය.
මන්ත්‍රීවරුන්ගේ විරෝධය හා ඝෝෂාව මැද්දේ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රී ධුරයේ දිවුරුම් දී කථානායකවරයාටත් පසුව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ටත් ආචාරකරමින් ආණ්ඩුවේ පසුපෙළ අසුනක් වෙත ගොස් හිඳ ගත්තේය.
ඝෝෂාකරමින් විරෝධය දැක්වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පැලඳ සිටි කළු පැහැති සාටක ගලවා සභා ගැබ මැද කථානායකවරයා ඉදිරියට විසි කර සභා ගැබෙන් පිටව ගියහ.
පාර්ලිමේන්තුව ඊයේ (08 වැනිදා) පස්වරු 1.00ට රැස්වී පළමුව සිදුවූයේ අභිනව මන්ත්‍රීවරයකු ලෙස ප්‍රේමලාල් ජයසේකර දිවුරුම් දීමය. ඒ බව කථානායකවරයා සභාවට නිවේදනය කිරීමත් සමග විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල “ රීති ප්‍රශ්නයක්” යැයි කියමින් නැගී සිටියේය.
මේ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිරිඇල්ල මන්ත්‍රීවරයාට විරෝධය දක්වන්නට වූ අතර විපක්ෂයේ සිටින සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුද “රීති ප්‍රශ්නයක්, රීති ප්‍රශ්නයක්. ” යැයි කියමින් කෑ ගැසූහ. මේ මන්ත්‍රීවරු කළු පැහැති සාටක පැලැඳ සිටියහ.
මන්ත්‍රීවරුන්ගේ ඝෝෂාව සහ විරෝධය මැද නවක මන්ත්‍රීවරයා කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. “ලැජ්ජයි. ලැජ්ජයි ඔබතුමා ගැන.” යැයි කියමින් චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා කථානායකවරයාට විරෝධය දක්වද්දී දිවුරුම් දී සිය අසුන වෙත යමින් සිටි ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාට සුබ පතමින් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් “ජයවේවා. ජයවේවා.’’ යැයි කෑ ගැසූහ.
ජයසේකර මන්ත්‍රීවරයා සිය අසුනේ හිඳගත් පසු අගමැති මහින්ද රාජපක්ෂ සභා ගැබට පැමිණ අසුන් ගත්තේය.
“හරි දැන් රීති ප්රශ්නය මතු කරන්නැයි.’’ කථානායකවරයා කිරිඇල්ල මන්ත්‍රීවරයාට කීවේය.
සිරදඬුවම් නියම කළ අවස්ථාවේ දී මන්ත්‍රීවරයකුගේ ආසනය ඉබේ අහෝසිවන බව සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා සිරගත කරද්දී එවක ඇමැති ජී.එල්. පීරිස් ප්‍රකාශ කළ බව හැන්සාඩ් වාර්තා උපුටා දක්වමින් කිරිඇල්ල මන්ත්‍රීවරයා පවසද්දී ජී.එල්. ඇමැතිවරයා ඉදිරිපෙළ අසුනක හිඳ අසා සිටියේය.
මන්ත්‍රීවරයා දිවුරුම්දී අවසන් බවත් ඒ පිළිබඳ දැන් රීති ප්‍රශ්න නැගීමේ අයිතියක් නැතැයිද සභානායක දිනේෂ් ගුණවර්ධන පැවැසුවේය.
හිරේ සිටින කෙනකුට පාර්ලිමේන්තු පැමිණිය නොහැකි බව කියමින් තම පාර්ලිමේන්තු ගමන එවක කථානායක චමල් රාජපක්ෂ වැළැක්වූ බව පැවැසූ සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා තමන්ට එරෙහි චෝදනාවටත් නඩු තීන්දුවටත් එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ අත්සන් කළ බවත් කීවේය. අගමැති මහින්ද රාජපක්ෂ සහ ඇමැති චමල් රාජපක්ෂ ෆොන්සේකා මන්ත්‍රීවරයාගේ කතාව මඳ සිනහවකින් යුතුව අසා සිටියහ.
“කලවැද්දා… කලවැද්දා…” යැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් කෑ ගැසුවේය.
“දැන් ඔය පැත්තේ හැමෝම ඒ වගේ… (පැලැඳ සිටින කළු පැහැති සාටකය පෙන්වමින්) මේ ගැටේ හරි නේද … කියා අගමැතිවරයාගෙන් ඇසුවේය.
අගමැතිවරයා දෑත් දිගු කරමින් සිනා සෙමින් යමක් පැවැසුවේය.
මේ අවස්ථාවේදී හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාද නැගිට යමක් කියද්දී සභාව යළි නොසන්සුන් විය. මන්ත්‍රීවරු යළි ඝෝෂා කරන්නට වූහ. ඒ සමගම විපක්ෂ නායකවරයා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සියලු දෙනා නැගිට සාටක ගලවා සභාව මැදට විසි කර පිටව ගියහ.
මන්ත්‍රීවරුන් මෙසේ ඝෝෂා කරද්දී වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සහ නියෝජ්‍ය වේත්‍රධාරී කුෂාන් ජයරත්න සෙංකෝලය අසලටවී එය ආරක්ෂා කළහ. විපක්ෂයේ අසුන්ගෙන සිටි ජාතික ජන බලවේගයේ සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සභාවේ සිදු වන සියල්ල සිය අසුන්මත හිඳ බලා සිටියහ.
අනතුරුව සභාවේ කටයුතු ආරම්භවූ අතර පාර්ලිමේන්තු සේවකයෙකු සභාව මැද තිබූ සාටක සියල්ල එකතුකර ඉවතට ගෙන ගියේය. නවක මන්ත්‍රීවරයාගේ දිවුරුම් දීමේ අවස්ථාවට විරෝධය දක්වා සභා ගැබෙන් පිටව ගිය සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විවාදයට සහභාගීවීම සඳහා යළි සභා ගැබට පැමිණියහ.
අජිත් අලහකෝන්
