News

මහර බන්ධනාගාර තාප්පයට උඩින් ආ තහනම් ද්‍රව්‍ය තොගය

මහර බන්ධනාගාර තාප්පයට යාබද මාර්ගයේ සිට බන්ධනාගාරය තුලට විසිකරන ලද තහනම් ද්‍රව්‍ය සහිත පාර්සල් දෙකක් අත්අඩංගුවට ගැනීමට මහර බන්ධනාගාර නිළධාරින් විසින් සමත්වී ඇත.
මහර බන්ධනාගාරය තුල දැනට  ක්‍රියාත්මක දැඩි ආරක්ෂිත වැඩපිළිවෙළ හේතුවෙන් බන්ධනාගාරය තුලට මෙලෙස තහනම් ද්‍රව්‍ය වල ගෙන්වා ගැනීමට රැදවියන් විසින් කටයුතු කරන අතර මහර බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතාගේ උපදෙස් මත සහකාර අධිකාරි ජගත් දිසානායක සහ ප්‍රධාන ජේලර් සුභාෂ් උපුල්දෙණිය යන මහත්වරුන්ගේ අධික්ෂණය යටතේ බන්ධනාගාරය තුල රාජකාරි කටයුතු සදහා වැඩිපුර නිළධාරින් යෙදවීමටද කටයුතු කර ඇත.
ඒ අනුව බන්ධනාගාරය තුල රාජකාරි කටයුතු වල නිරතව සිටි ජේලර් කේ.ජි.සි.සිල්වා ,ජේලර් ඒ.ඩි.සි.පෙරේරා ,සැරයන් එල්.සී එදිරිසිංහ , නියාමක එච්.එච්. බඹරැන්ද  ඇතුළු බන්ධනාගාර නිළධාරින් විසින් මහර බන්ධනාගාරයේ ඩී වාට්ටුව අසලදී  මෙම තහනම් ද්‍රව්‍ය සහිත පාර්සල් අත්අඩංගුවට ගත් අතර එවායේ තිබී ස්මාර්ට් ජංගම දුරකථනයක්, සාමාන්‍ය ජංගම දුරකථනයක් ,සිගරැට් පැකට් 01 , හේරෝයින්, මත්පෙති 10 , දුරකථන බැටරි 01 ,ගංජා , දුම්කොළ , ලයිටර් ඇතුළු භාණ්ඩ තොගයක් සොයාගෙන ඇත. බන්ධනාගාර තාප්පයට යාබද මාර්ගයේ ධාවනය වු ත්‍රීරෝද රථයක ගමන් කල පිරිසක් විසින් මෙම පාර්සල් බන්ධනාගාර තාප්පය දෙසට විසි කොට පලාගිය බවට  මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති අතර රාගම පොලිසිය විසින් ඒ පිළිබද වැඩිදුර පරික්ෂණ පැවැත්වීමට නියමිතය.
බන්ධනාගාර රැදවියන් විවිධ ක්‍රම ඔස්සේ බන්ධනාගාරය තුලට තහනම් ද්‍රව්‍ය ගෙන්වා ගැනීමට කටයුතු කරන අතර තම නිළධාරින්ගේ දක්ෂතාවය හා කැපවීම මත  පසුගිය කාල සීමාව පුරාවටම  එම උත්සාහයන් ව්‍යර්ථ කිරීමට හැකිවු බවත් මෙම තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් නිළධාරින් සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමන් වෙත කරුණු වාර්ථා කොට ඔවුන් වෙනුවෙන් ප්‍රශංසා සහතික ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව මහර බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතා අප සමග අදහස් දක්වමින් වැඩිදුරටත් ප්‍රකාශ කලේය.
හේමන්ත ලියනපතිරණ