News

මහ බැංකුවේ රන් සංචිතය පහත වැටේ

ශ්‍රී ලංකා මහ බැංකුවේ රන් සංචිතය මෙම වසරේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන පන්සීයකින් පමණ පහත වැටී තිබේ.

මහ බැංකු දත්තවලට අනුව 2019 දෙසැම්බර් 31 වැනිදා වන විට බැංකුව සතුව තිබූ රන් සංචිතයේ වටිනාකම ඩොලර් මිලියන 945.88කි.

මෙම සංචිතය මෙම වසරේ පළමු මාස පහක කාලයේ දී (මැයි 29දක්වා) ඇමෙරිකානු ඩොලර් මිලියන 372.7ක් දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 582කින් පහත වැටී ඇත. මෙම අවගමනය පසුගිය අප්‍රේල් මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 369.05 දක්වාද පහත වැටී තිබිණි.

මේ අතර පසුගිය සතියේ මෙරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂය දක්වා ඉහළ ගියේය. ඊට සාපේක්ෂව කැරට් 22 රන් පවුමක මිල රුපියල් අසූ දහස ඉක්ම විය. මෙලෙස දේශීය රන් මිල අධිකව ඉහළ යෑමට හේතුව ගෝලීය වෙළෙඳපොළේ මිල ඉහළ යෑමයි.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ශ්‍රිරාන් ප්‍රනාන්දු පෙන්වා දෙන ආකාරයට පසුගිය සතියේ රන් අවුන්සයක මිල ඇමෙරිකානු ඩොලර් එක්දහස් අටසිය දක්වා ඉහළ ගොස් ඇති අතර එය 2011 වසරෙන් පසු වාර්තා වන ඉහළම අගයයි. 2020 වර්ෂයේ ගත වූ කාලය තුළ දී රන් මිල සියයට විස්සක ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇත.