මැතිවරණයේ ආරක්ෂක රාජකාරි වලට 84000 ක්
මෙවර මහ මැතිවරණයේ ආරක්ෂක රාජකාරි සඳහා පොලිසිය,පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරින් 84000 ක් පමණ යෙදවීමට අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසිය.
අනුරාධපුර මුලස්ථාන පොලිස් ස්ථානයේදී පෙරේදා (14) සවස පැවති මාධ්‍ය හමුවකදී ඒ
මහතා මේ බව සඳහන් කළේය.
පසුගිය මැතිවරණවලදී ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරින් 63000 ක් පමණ යොදවනු ලැබූ බවත් ඒ අනුව මෙවර මහ මැතිවරණයේදී ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරින් සහ පොලිස් විශේෂ කාර්ය බලාකායේ නිලධාරින් 75000 ක් පමණ යෙදවීමට පියවර ගෙන තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.
මෙවර මහ මැතිවරණයේදී කොරෝනා වසංගතය හේතු කොට ගෙන ජන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන පුළුල් කිරීමට පියවර ගැනීම නිසා ගණන් කිරීමේ නිලධාරින් සංඛ්‍යාව වැඩි කර තිබෙන බැවින් ඊට අවශ්‍ය ඉතිරි පොලිස් නිලධාරීන්ගේ ඌනතාවය සම්පුර්ණ කර ගැනීමට සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරින් 9000 ක පමණ සංඛ්‍යාවක් යොදවා ගැනීමට අපේක්ෂා කරන බවත් පැවසිය.
ඒ අනුව සිවිල් ආරක්ෂක බලකා නිලධාරින් ජංගම මුර සංචාර සහ අනිකුත් රාජකාරි කටයුතු සඳහා යෙදවීමට අපේක්ෂා කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා වැඩිදුරටත් කිවේය.
