News

මැන්ඩරින් බද්ද ඉවත් කරයි

ආනයනික මැන්ඩරින් (කුඩා ප්‍රමාණයේ දොඩම්) සඳහා වන සෙස් බද්ද ඉහළ නැංවීමට ගනු ලැබූ තීරණය ශ්‍රී ලංකා රජය විසින් අත්හිටුවා ඇතැයි පාකිස්තාන වාණිජ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. වාණිජ අමාත්‍යාංශය උපුටා දක්වමින් PT Profit ඇතුළු පාකිස්තාන ජනමාධ්‍ය ආයතන වාර්තා කර ඇති ආකාරයට පාකිස්තාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික වෙළෙඳාම තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව මෙම පියවර ගෙන තිබේ.

මෙම පියවර ඔස්සේ මේ වසරේදී (2020 දී) ශ්‍රී ලංකාවට මැන්ඩරීන් ටොන් 350,000ක්ද ආනයනය කෙරෙන බවද එම වාර්තාවේ දැක්වේ. අදාළ වාර්තාවට අනුව පාකිස්තානයේ නිෂ්පාදිත මැන්ඩරින් අපනයනය කෙරෙන ප්‍රධානම වෙළෙඳපොළක් වන්නේ ශ්‍රී ලංකාවයි.

පසුගිය මාසයේදී (නොවැම්බර්) ශ්‍රී ලංකා රජය ආනයනික මැන්ඩරීන් වෙනුවෙන් වූ (​දේශීය) සෙස්බද්ද කිලෝග්‍රෑමයකට රුපියල් 30 සිට රුපියල් 160 දක්වා හදිසියේ ඉහළ දැමීමට තීරණය කර ඇත. මැන්ඩරින් යනු දෙරට අතර පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ සහන මිලට ආනයනය කෙරෙන පලතුරක් වන බැවින් මෙම බදු ඉහළ දැමීම සහ මැන්ඩරින් පලදාව නෙළීම ආරම්භ කර තිබීම අපනයන ඇණවුම්වලට අහිතකර ලෙස බලපා ඇතැයි පාකිස්තාන වාණිජ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවට දැනුම්දී ඇත.

නයන තරංග ගමගේ