මිනිසුන් ඔබව අගයන්නේ ඔවුන්ට ඔබව දරාගත හැකි මට්ටමට එනතෙක් පමණයි
“People will admire your depth until it’s time to swim in it. They will praise your wisdom until it holds them accountable. They’ll love your light until it exposes their shadow.”
ඔබේ ජීවිතයේ සහ ඔබේ ආත්මයේ ඇති ගැඹුර, මිනිසුන් අගය කරන්නේ ඒ ගැඹුරෙහි කිමිදෙන්නට කාලය එන තුරුයි. ඔවුන් ඔබේ ප්‍රඥාවට ප්‍රශංසා කරන්නේ එය ඔවුන් වගවීමකට ලක්කරන තුරුයි. ඔබේ ආලෝකය ඔවුන්ට ප්‍රිය කරන්නේ එය ඔවුන්ගේ අඳුරු සෙවණැලි නිරාවරණය කර පෙන්වන තුරුයි.
මම මේ වදන් දෙස බලන්නේ ජීවිතයේ රළු පරළු සුළඟට තනිවම මුහුණ දී, අඳුරු අගාධ පසු කරමින් පැමිණ, අළු යටින් නැඟුණු ගිනි පුපුරක් මෙන් ශක්තිමත් වූ තනි ගැහැනියකගේ දෑසිනි. ගැහැනු ආත්මයක් තුළ ඇති සැබෑ ගැඹුරට, ප්‍රඥාවට සහ ආලෝකයට මුහුණදීමට ඇති බිය නිසා ලෝකය බොහෝවිට කරන්නේ දුරින් හිඳ බලා අත්පොළොසන් දීමය.
වර්ජිනියා වුල්ෆ්ගේ හෝ මාටින් වික්‍රමසිංහගේ නවකතාවල එන ස්ත්‍රී චරිත මෙන්, ජීවිතයේ අනන්ත වූ දුක් දොම්නස් විඳ දරා ගනිමින් ජීවත් වන ගැහැනු ආත්ම තුළ නිතැතින්ම ගොඩනැගෙන මහා සාගරයක් වැනි ගැඹුරක් ඇත. ගැහැනියක තුළ ඇති ඒ ගැඹුරු බවට මිනිසුන් ප්‍රිය කරති. දුර සිට ඒ ගැන ප්‍රශංසා කරති. එහෙත් ඒ මහා සාගරයේ කිමිදෙන්නට හෝ ඇයගේ දුක් වේදනාවන්ගේ අරුත ගැඹුරින් වටහා ගන්නට බොහෝවිට ඒ කිසිවෙකු ඉදිරිපත් වන්නේ නැත. මන්ද, ඒ සාගරයේ රළ පහරට මුහුණදීමට නොහැකි තරම් ඔවුන්ගේ ආත්මයන් දුර්වල බැවිනි.
ෆ්රීඩරික් නිට්ෂේගේ දර්ශනවාදය පවසන පරිදි, යමෙකු තවකෙකුගේ සත්‍ය ප්‍රඥාව හමුවේ නිරාවරණය වන විට, එහි බර දරාගත නොහැකිව ඔවුහු පසුබසිති. ඒ ලෙසටම ගැහැනියකගේ ඇති ඥානවන්තකමට, බුද්ධියට සහ අවබෝධයට ලෝකය මුලදී ප්‍රශංසා කරන්නේ එය පිටින් බලන්නෙකුට ඉතා අලංකාරව පෙනෙන බැවිනි. එහෙත්, ඒ ප්‍රඥාවම ඔවුන්ගේ වැරදි, පීඩාකාරී හැසිරීම් සහ වංචාසහගත බව ඔවුන්ටම පෙන්වා දෙන කණ්ණාඩියක් බවට පත් වන විට, ඔවුහු එවැනි ස්ත්‍රී පරාණවලින් ඈතට විසි වෙති. නැතිනම් පලා යති. මන්ද සත්‍යය දරාගැනීමට ඒ ඇතැමුන්ට අපහසුය. ඒ, එය මිනිසුන්ගේ අභ්‍යන්තර වරදකාරී හැඟීම් අවදි කරන බැවිනි.
සම්පුර්ණ ලිපිය කියවන්න ධරණී පුවත්පත බලන්න
