මියගිය පසු ලතා ඉන්දියාවට ලෝක කුසලාන නැතා
ක්‍රිකට් ක්‍රීඩාවට ආදරේ කළ ඉන්දීය ප්‍රේක්ෂකයින් 1983 උදාවෙනතුරු සිටියේ ඇඟිලි ගනිමින්ය. ඊට හේතුව එංගලන්තයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ එක්දින ක්‍රිකට් ලෝක කුසලානයයි.
ඒ කාලවකවානුවේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දුන්නේ කපිල් දේව් ය. ඉතා සාර්ථක නායකයෙක් බව ඔප්පු කරමින් ඔහු ඉන්දීය කණ්ඩායම අවසන් මහා තරඟය දක්වා ගෙන ආවේ ක්‍රිකට් ක්‍රීඩාව ලොවට දායාද කළ ප්‍රබල එංගලන්ත කණ්ඩායම එරටේදීම පරාජය කරමිනි. එදා තරඟය අවසන් කර විවේකාගාරයට ගිය කපිල්ට දුරකතන ඇමතුමක් පැමිණි අතර එහා කොණෙන් ඇසුණේ ගැහැනු කටහඬකි.
“කපිල්, ඔබ ඇතුළු ඉන්දීය කණ්ඩායමට මගෙන් සුබපැතුම්. ඉන්දියාවට ආපු ගමන් කට්ටියම අපේ ගෙදර රාත්‍රී භෝජන සංග්‍රහයකට එන්න. මං බලාගෙන ඉන්නවා. ඒ වගේම අවසන් මහා තරඟයටත් සුබ පතනවා. අපේ කොල්ලෝ අනිවාර්යයෙන්ම මෙදා සැරේ කප් එක උස්සනවා.”
එදා කපිල්ට ඒ ආරාධනය ලැබී තිබුණේ ඉන්දියාවේ උන්මාදනීය හඬේ හිමිකාරිනිය, භාරතීය ගීත කෝකිලාවිය ලෙස නම් දරා සිටි ලතා මංගේෂ්කාර්ගෙනි.
“අපේ කොල්ලෝ ටික එදා එංගලන්තය පරද්දලා අන්තිම තරඟෙට සුදුසුකම් ලබද්දි මං හිටියේ සංගීත ප්‍රසංගයක. ඒ ආරංචිය ඇහුවා විතරයි මට සතුට දරාගන්න බැරිවුණා.”
ලතා පුංචි සන්ධියේ සිටම ක්‍රිකට් ක්‍රීඩාවට බොහෝ ඇලුම් කළ තැනැත්තියකි. ඇය සංගීතයට පෙම් කළ තරමටම ක්‍රිකට් ක්‍රීඩාවටද පෙම් බැන්දාය. කෙසේ හෝ ලතා පැවසූ පරිදිම එවර ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළේ ඉන්දියාවයි. ඒ පිට පිට දෙවතාවක්ම ක්‍රිකට් ලෝක කුසලානය දිනා සිටි ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කරමින්ය.
අද ලොව ප්‍රබලම ක්‍රිකට් පාලක මණ්ඩලය ඉන්දියාව සතු වුවද එකල ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය හිටියේ දුප්පත්කම පතුලේය. එනිසා 1983 වසරේ ක්‍රිකට් ලෝක කුසලානය දිනූ කපිල් දේව් ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායමට මුදල ත්‍යාගයක් දෙන්නට තරම්වත් ඔවුන්ට හැකියාවක් තිබුණේ නැත.
ඔය වසරේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති වූයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක රාජ් සිං අන්ගාර්පූර් ය. පසුකලෙක ලතාගේ පෙම්වතා වූයේද ඔහුය. කෙසේ හෝ ඔහු ලතාට කළ අපූරු යෝජනාවක් තිබිණි. ඒ ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඉන්දීය ක්‍රීඩකයින්ට ත්‍යාග මුදල් ලබාදීමට සංගීත ප්‍රසංගයක් පවත්වමු යනුවෙනි. ලතාගේ ක්‍රිකට් පෙම නිසාම ගත්කටටම රාජ්ගේ යෝජනාවට ඇය එකඟ වූවාය. ඒ අනුව ඊට දින කීපයකට පසු ඉන්දියාවේ නවදිල්ලි නුවර නේරු ක්‍රීඩාංගනය එකම හිස් ගොඩකින් පිරිණි. පුරා දෙපැයකට වඩා එක දිගට ගී ගයමින් ලතා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අත තැබූ මුදල ලක්ෂ විසි එකකි.
“අපට ත්‍යාග මුදලක් දෙන්නවත් ක්‍රිකට් පාලක මණ්ඩලේට මුදල් තිබුණේ නෑ. ඒත් ලතා මංගේෂ්කාර් ඉදිරිපත් වෙලා සංගීත ප්‍රසංගයක් පවත්වලා අපිට ලක්ෂය ගානේ මුදල් තෑගි දුන්නා. ඒ කාලේ හැටියට ඒක ලොකු මුදලක්.”
2011 වසරේදී ද එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළේ ඉන්දියාවයි. එදා ඔවුන්ට පරාජය වූයේ ශ්‍රී ලංකාවයි. එවර ඉන්දියාවට අවසන් මහා තරඟයට පැමිණීමට නම් අර්ධ අවසන් පූර්ව තරඟයේදී පාකිස්තානය පරාජය කළ යුතුව තිබුණි. එහෙත් එය දෙපිලටම දෝලනය විය හැකි තරඟයක් වූයේ ඒ වනවිටත් එකී කණ්ඩායම් දෙකම ප්‍රබල මට්ටමේ සිටි නිසාය.
“එදා මමත් මගේ පවුලේ අයත් කෑම නොකා දිගින් දිගටම උපවාස කළා. ඉන්දියාව දිනන්න ඕන කියලා එකදිගටම දෙවියන් ඉදිරියේ යාඥ කළා. ආයෙත් අපි ඒ උපවාසේ අතෑරලා කෑම කෑවේ ඉන්දියාව තරඟය දිනලා අවසන් තරඟයට තේරුණාට පස්සෙයි.”
ඒ ලතාගේ ක්‍රිකට් උන්මාදයේ තරමය. ඇය නිතර නිතරම එරටේ ක්‍රිකට් වෙනුවෙන් පෙනී සිටියාය. ක්‍රිකට් කණ්ඩායමට සුබ පැතුවා පමණක් නොව තරඟ නරඹන්නටද ගියාය. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ලතා වැඩිපුරම කැමති ක්‍රීඩකයින් දෙදෙනෙකි. ඒ සචින් තෙන්ඩුල්කාර් සහ මහේන්ද්‍ර සිං දෝනි ය. සචින් බොහෝවිට ලතාට කතා කළේ ‘මායි’ ලෙසිනි. මරාති බසින් ‘මායි’ යනු අම්මාය.
“මායි ක්‍රිකට් ගැන ගොඩාක් දේවල් දන්නවා. අපි මුණගැහුනු හැමවෙලේම ඇයට ක්‍රිකට්වලින් තොර කතාවක් තිබුණේ නෑ. තරඟාවලියකට යන්න කලින් අපි ඇගේ ආශිර්වාදය බලාපොරොත්තු වුණා.”
ඒ හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් ය.
වරක් ලතාට ඉන්දීය පුරවැසියෙකුට හිමිවෙන ඉහළම සම්මානය වෙන ‘භාරත් රත්න’ සම්මානය හිමිවිය. ඒ 2001 වසරේදීය. එදින ඇය සම්මානය අතට ගෙන පැවසුවේ අපූරු කතාවකි.
“මට නම් අවුරුදු ගණනාවකටම භාරත් රත්නය වෙන්නේ සචින් තෙන්දුල්කාර්. ඔහුට දවසක ඒ ගෞරවය හිමිවිය යුතුමයි.”
එදා ලතා කී කතාව සැබෑ කරමින් වසර දහතුනකට පසු 2014 වසරේදී සචින් එම සම්මානය අත දැරුවේය.
2017 – 2020 කාල පරාසය තුළ ඉන්දියානු කණ්ඩායම දිගින් දිගටම අසාර්ථක වූයේ කිසිවෙකුත් නොසිතූ අන්දමිනි. ඒ වනවිට කණ්ඩායම් නායකයා දෝනි ය. ඔහු බාහිරින් එන පීඩන දරාගත නොහැකිව නායකත්වයෙන් ඉල්ලා අස්වීමට පවා තීරණය කළේය. දෝනි ගන්නට යන තීරණය කණවැකුනු වහාම ලතා කළේ දෝනිට ඇමතුමක් ගත් එකය. එහිදී ඇය දෝනිගෙන් ඉල්ලූ එකම දේ ඔහුව ඒ මොහොතේ රටට අවශ්‍ය බැවින් කිසිම ලෙසකින් එවැනි තීරණයක් ගන්නට හදිසි නොවන ලෙසය. එවර දෝනි එම තීරණය හකුළාගත්තේ ලතාගේ ඉල්ලීමට පිටුපාන්නට බැරිම නිසාමය.
2022 පෙබරවාරි 06 වැනිදා සමස්ත භාරතයම කම්පා කරවමින් කොවිඩ් මාරයා ලතාගේ හුස්ම නවතද්දි එය වැඩිපුරම දැනුණේ ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමටය. එය කොතරම් දැනුණාද කිවහොත් ලතාගේ මරණය ඇසූ ක්‍රිකට් ක්‍රීඩකයන් සියලුදෙනා හැඬුවෝය. ඒ යළිත් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණයට උරදුන් ඇගේ ආශිර්වාද ඔවුන්ට නොලැබෙන බව සිහිකරමිනි. ලතා මියයද්දී ඔවුන් සිටියේ තම දහස් වැනි එක්දින ක්‍රිකට් තරඟය ක්‍රීඩා කරන්නට සූදානම් වෙමිනි. ඒ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිවය. එදා ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා පිටියට පැමිණියේ විනාඩි කීපයක නිශ්ශබ්තාවයක් රකිමින් ලතා වෙනුවෙන් ශෝකය පළකරන්නට කළු පටියක්ද අත පැළඳගෙනය.
දැන් ඉන්දියානු කණ්ඩායම ක්‍රීඩා කරන්නේ ලතාගේ ඒ ආශිර්වාදය නැතුවය. එම ආශිර්වාදය අහිමි කණ්ඩායමට අසුබ කාලයක් උදාවී ඇති බව කාට වුණත් පෙනෙන්නට තිබේ. ඊට ළඟම උදාහරණය ලතා මියයාමෙන් පසු ඉන්දීය කණ්ඩායම මුහුණදුන් ලෝක කුසලාන ත්‍රිත්වයයි. ඇය මියගිය 2022 දී ඉන්දියාවට තිබූ ලොකු අභියෝගය වූයේ 2022 විස්සයි විස්ස ලෝක කුසලානයයි.
විරාත් කෝලි, රෝහිත් ෂර්මා, රවීන්ද්‍ර ජඩේඩා වැනි සුපිරි ක්‍රීඩකයින් සිටියද අඩු තරමේ එහි අවසන් තරඟය වෙත පිවිසීමටවත් ඉන්දීය කණ්ඩායමට නොහැකි විය. ඒ ලෝක කුසලානයෙන් පසුව බිලියන 1.4 වූ ඉන්දියානුවන්ගේ බලාපොරොත්තු බොඳ කරමින් පසුගිය වසරේ (2023) පැවති එක්දින ලෝක කුසලාන අවසන් තරඟයද ඔස්ට්‍රේලියාව හමුවේ කඩුලු හයකින් පරාජයවීමට ඉන්දියාවට සිදුවිය. එයින් නොනැවතී මේ වසරේ පෙබරවාරියේ තිබූ 19 න් පහළ ලෝක කුසලාන අවසන් තරඟයද ලකුණු 79 කින් ඉන්දියාව, ඔස්ට්‍රේලියාව ඉදිරියේ පරාජයට පත්වූයේ ලෝක කුසලාන රැල්ලේ අඛණ්ඩ තුන්වැනි පරාජයටද උරුමකම් කියමිනි. ඉතින් ලතාගේ ආශිර්වාදය අහිමි ඉන්දියාවේ ක්‍රිකටුත් ලතා එක්කම මිහිදන් වුණාවත්ද? බැලූ බැල්මට නම් වී ඇත්තේ වෙනකක් නොව ඒකය.
රුවන් එස්.සෙනවිරත්න