News

මීගමුව බන්ධනාගාරයේ සම්පායෝ කළුතරට මාරු කරයි

මීගමුව බන්ධනාගාර අධිකාරී අනුරුද්ද සම්පායෝට කළුතර බන්ධනාගාරයට ස්ථාන මාරුවක් යන තේමාව යටතේ අද (28) අරුණ අප වාර්තා කොට තිබේ. එය තුළද ඇත්තේ බලා සිටීමට නොහැකි කථා රාශියක් නිසා මෙම ගවේෂණය තවත් ඉදිරියට යන්නේ අපටත් නොදැනීමයි.

මෙම අධිකාරිවරයාට ස්ථාන මාරුව අධිකරණ අමාත්‍යාංශයෙන් ලබා දී ඇත්තේ තහනම් ද්‍රව්‍ය මීගමුවට ගෙන යෑම පිළිබඳව සිදු කළ විමර්ශනවල ප්‍රථිපලයකිනි.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ අධිකාරී අලහකෝන් විසින් සකසන ලද විමර්ශන වාර්තාවේ අවසානයෙහි සඳහන් කොට ඇත්තේ මෙම අධිකාරිවරයා එතැන රාජකාරි සිදුකරන අතරතුරු විමර්ශනයක් සිදු කළ නොහැකි බවකි.

( මීගමුව බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ )

27 වැනි දින සවස බන්ධනාගාරය තුළ සිටිනා රැඳවියන්ගෙන් මුදල් එකතු කළේ කුමක් සඳහාද සෙවීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතු කාර්යයකි.

එසේම බන්ධනාගාර මූලස්ථානය විසින් ලබාදෙනු ලබන නියෝග පිළිපැදීමට අකමැති බන්ධනාගාරය මීගමුව කිවහොත් නිවැරදිය. කොණ්ඩ රංජි නමැති රැඳවියා මාරු කොට යැවීමට ලිපිය යවා තිබුණේ පසුගිය 24 වැනි ඉරු දිනයි. ඔගස්ටින් නමැති රැඳවියා ගාල්ල අධිකරණයට නඩු කටයුත්තකට ගෙන යෑමට සූදානම් කර තිබූ බසයෙන් බූස්ස බන්ධනාගාරය වෙත මාරු කිරීමට සූදානම් කොට තිබුණි. එහෙත් එදින උදේ රංජිට බඩේ අමාරුව හැදුනේ සිතා ගැනීමට නොහැකි අයුරිනි. එහෙත් බසය පිටත් වූ විට රංජිගේ බඩේ අමාරුව සුව විය. ඉහත දැක්වෙන ඡායාරූප රංජි සුවසේ සිටින බව සනාථ කරයි. අසාධ්‍ය නම් ඔහු සිටිය යුත්තේ බන්ධනාගාරයේ රෝහල තුළ ඇඳක් මතයි. මේ ගැන බන්ධනාගාර අධිකාරිය විමසිලිමත් විය යුතුයි.

(මේ වන විට බන්ධනාගාරය තුල රැදී සිටින කොණ්ඩ රංජි නමැති රැඳවියා)

 

දුර බැහැර බන්ධනාගාරයක සිට උදාහරණයක් ලෙස මීගමුව සිට මාතර අධිකරණය වෙත රැඳවියන් නඩු කටයුත්තකට ගෙන යාමේ ක්‍රමවේදය නම් අප අසා ඇති අයුරින් ආසන්නම බන්ධනාගාරය වෙත නැතහොත් වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කළ යුතුයි. නැති නම් මාතර අධිකරණය ආසන්නයේ තිබෙන්නා වූ බන්ධනාගාරය වෙත මාරු කළ යුතුයි. එහෙත් මීගමුව සිට ලංකාවේ ඕනෑම බන්ධනාගාරයක් වෙත යොමු කිරීමේ ක්‍රමවේදය අප නොදන්නා බැවින් එයද නිවේදනයක් මගින් හෝ මාධ්‍ය ආයතන දැනුවත් කිරීමට පියවර ගැනීමද අගනා කරුණකි.

මැති ඇමැතිවරුන් වුවද මේ දිනවල බන්ධනාගාර ගත වුවද අමුත්තන් හට පැමිණීම තහනම්ය.

එහෙත් අප්‍රේල් 28 සහ මැයි 19 වැනි දින සී.ඒ.ඩී. 0221 වාහනයෙන් පැමිණියේ කව්දැයි සෙවීමද වැදගත් කරුණකි. එම කරුණද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර කිරීමට ‘අරුණ’ අප තීරණය කළෙමු.

බන්ධනාගාර පොලිසියේ ප්‍රධානියා හොර රහසේම මීගමුවට කඩා පැනීම නිසා මේ සියල්ල කරලියට පැමිණියේය. ඔහුට මේ වික්‍රමය සිදු කිරීමට බාධා රැසක් පසුගිය කාලය තුළ එල්ල වී තිබිණි. එහෙත් මේ වැටලීම සිදු කළ පසු අදාළ අධිකාරිවරයා පොලිස් ප්‍රධානියාට පවසා තිබුණේ මගේ ජීවිතේටම ගේම ඉල්ලපු එකම කෙනා උඹ පමණකි යනුවෙනි.

පෙබරවාරි මස බන්ධනාගාර පොලිස් ප්‍රධානියා විසින් අත්අඩංගුවට ගත් හෙරොයින් අතුරුදන් වීම සම්බන්ධව මීගමුව පොලිසිය මත වරද පැටවීමේ උත්සාහයක බන්ධනාගාර නිලධාරීන් නිරත වී තිබිණි. එහෙත් මීගමුව පොලිසියේ ස්ථානාධිපතිවරයා ගේ අවංක රාජකාරිය නිසා එය වැලකී තිබේ.

මෙවැනි දූෂිත ක්‍රියා සිදු කරමින් ශ්‍රී ලංකාව තුළ තිබෙන්නාවූ බන්ධනාගාරවල රවුම් ගසමින් යන මෙවැනි දූෂිත නිලධාරීන් හට ලැබිය යුතු හෝ සිටිය යුතු ස්ථානය තීරණය කළ යුත්තේ කව්දැයි පැනය අප සතුය.

( මීගමුව  බන්ධනාගාරය තුල තිබී අත්අඩංගුවට ගත් ශීතකරණය)

තනිවම මේසා ගමනක් යාමට නොහැකි බව ඕනෑම ළදරුවකුට තේරුම් ගැනීමට අපහසු නොවන කරුණකි.

එයට හවුල් වූ තවත් උසස් යැයි කියාගන්නා නිලධාරීන් පිරිසක් සිටින බව පැහැදිලි වන්නේ එහෙට මෙහෙට යොමු කරන ලද ලිපි මනාව අධ්‍යනය කිරීමෙනි.

1844 දී සාදා තිබෙන බන්ධනාගාර ආඥාපනත 1936 වර්ෂයේ දී වෙනස් වීම් කිහිපයක් සිදු වී තිබේ.

එම ආඥා පනතේ තරු සිරකරුවන් යැයි හඳුන්වන පිරිසක සටහනක් තිබේ.

එම වදනෙහි තේරුම වන්නේ රාජ්‍ය විරෝධී කටයුත්තක නොයෙදුනු මනුෂ්‍ය ඝාතන සිදු නොකළ පිරිස් හට මුදල් ගෙවා තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් බන්ධනාගාරය තුළට ගෙන ඒමේ සහ මිලදී ගැනීමේ හැකියාවක් පවතින සිරකරුවන් පිරිසකි.

එහෙත් 1972 දී සිදු කළ ව්‍යාවස්ථා සංශෝධනයෙන් පසුව එය ඉවත්ව ගොස් ඇත. අදට එය බල රහිතය. එහෙත් එම රෙගුලාසිය දැනුදු උපයෝගී කර ගනිමින් මෙවැනි දූෂිත නිලධාරීන් සිදු කරනා මෙම ක්‍රියාවලිය නැවැත්විය යුතු නොවේද? වැදගත් මාධ්‍ය ආයතනයක් වශයෙන් අප මෙසේ අවධාරණය කරන්නේ යහපත් සමාජයක් ගොඩ නැගීමේ කර්තව්‍යයට උරදීමටයි.

ගවේෂණය සහ වාර්ථාකරණය හේමන්ත ලියනපතිරණ