News

රණවිරු සැමරුම් පුහුණුවීම්වලට ආ නාවික සෙබළු දෙකකට කොවිඩ්

රණවිරු සැමරුමට අදාළව සිදුකෙරෙන ආචාර පෙළපාළියක පෙර පුහුණුවීම් සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා නාවික හමුද සෙබළුන් දෙදෙනකුට කොවිඩ් -19 වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මෙම ආචාර පෙළපාළියේ පුහුණුවීම් පෙරේදා (17 වැනිදා) පැවැති අතර, නාවික හමුදා සාමාජිකයන්ටද එදින පෙරවරුවේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇත. එහි ප්‍රතිඵල පස්වරුවේ ලැබෙන විට මෙම නාවික හමුදා සෙබළුන් ආචාර පෙළපාළියටද යොමුකර තිබිණි.

මෙම නාවික හමුදා සාමාජිකයෝ පළමු පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවේ ප්‍රතිඵල යළි සනාථ කර ගැනීම සඳහා දෙවැනි පරීක්ෂණයක් සිදුකිරීමට අවශ්‍ය පියවර ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර පවසයි.

මෙම නාවික හමුදා සාමාජිකයන් ළඟින් අසුරු කළ සියලුම ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ සාමාජිකයන් නිරෝධායනයට යොමුකර ඇත.

අත්තිඩියේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයට පොලිස් නිලධාරින් එකසිය හතළිහක් පමණ නිරෝධානයට යොමුකර තිබේ.

එම නිලධාරින් අතර පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයන් මෙන්ම පොලිස් තූර්යවාදක කණ්ඩායමද වන බව ආරංචිමාර්ග සඳහන් කරයි. පොලිස් සංස්කෘතික හා නර්තන කණ්ඩායම් 108ක් අත්තිඩිය, බම්බලපිටිය, ක්ෂේත්‍ර බළකා මූලස්ථානය හා කොළඹ මලලසේකර මාවතේ පිහිටි පොලිස් ගොඩනැගිලිවලදීම නිරෝධායනයට යොමුකර ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ හැත්තෑපහක්ද නිරෝධානය සඳහා යොමුකර ඇත.

නාවික හමුදා සම්මාන මුරයට එක්වූ තිහක කණ්ඩායමක්ද වෙනමම නිරෝධායනයට යොමුකර ඇත. මේ සමගම රණවිරු ස්මාරකය අසලදී පුෂ්පෝපහාර දැක්වීම පමණක් සිදුවන බව අනාවරණය විය.

උදයජීව ඒකනායක/ තිස්ස රවීන්ද්‍ර පෙරේරා