රාජ්‍ය ආයතනවල මහජන දිනය වෙනස් වෙයි
මින් ඉදිරියට සතියේ ‘සඳුදා’ දින රාජ්‍ය ආයතනවල මහජන දිනය වශයෙන් නම් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
රාජ්‍ය ආයතනවලින් සිය සේවාවන් ඉටුකරවා ගැනීම සඳහා මහජනතාවට පහසුවන පරිදි මෙම තීරණය ගෙන ඇත. මෙතෙක් සතියේ ‘බදාදා’ ‘මහජන දිනය’ වශයෙන් නම් කර තිබිණි.
බදාදා දින කැබිනට් මණ්ඩලයට යන ඇමැතිවරුන්ට ‘බදාදා’ මහජන දිනය ලෙස නම් කිරීම හේතුවෙන් යම් යම් අපහසුතාවලට මුහුණ පෑමට සිදුවන බව ඊයේ (10 වැනිදා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී උදය ගම්මන්පිල පැවසීය.
සිය අමාත්‍යාංශවල මහජන දිනයට සහභාගි වී දැඩිසේ වෙහෙසට පත්වන ඇමැතිවරුන්ට එදිනම පැවැත්වෙන ඇමැති මණ්ඩල රැස්වීමේදී ඊට අදාළ කාරනා කෙරෙහි නිසි අවධානය යොමු කිරීම අසීරු බවද ඇමැතිවරයා කියයි.
ඒ අනුව මින් ඉදිරියට සඳුදා දින සියලුම රාජ්‍ය ආයතනවල නිලධාරීන් මහජන අවශ්‍යතා ඉටු කිරීම පිණිස අනිවාර්යයෙන්ම කාර්යාලවල රැඳී සිටිය යුතු බවටත් තීන්දුකර තිබේ.
නයන තරංග ගමගේ
