රාජ්‍ය බැංකුවල ණය සහනය සිහිනයක් පමණයි ජනතාවගෙන් චෝදනා
කොරෝනා වසංගතයෙන් බලපෑමට පත්වූ ජනතාවට සහනයක් සැලසීමේ අරමුණින් රාජ්‍ය හා පෞද්ගලික මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය සඳහා සයමාසික සහන කාලයක් ලබාදීමට රජය තීරණය කරනු ලැබුවද රාජ්‍ය බැංකු බොහොමයක් එම සහනය ලබානොදෙන බවට රජයේ සේවකයෝ චෝදනා කරති.
කොවිඩ් වයිරසය හේතුවෙන් ජනතාවගේ කඩා වැටී ඇති ආර්ථිකය සලකා බලා කැබිනට් මණ්ඩලය විසින් 2020 මාර්තු 30 වැනිදා මෙම තීරණය ගන්නා ලදී. මෙම ණය සහනය ලබාදීමේදී රාජ්‍ය හෝ පෞද්ගලික මූල්‍ය ආයතනයක් කිසියම් අපහසුතාවකට පත්වන්නේ නම් ඒ සඳහා රුපියල් බිලියන 50ක ප්රතිමූල්ය පහසුකමක් ලබාදීමටද මහ බැංකුව තීරණය කළේය.
මෙම සහනය පිළිබඳ සියලු තොරතුරු සඳහන් මාධ්‍ය නිවේදනයක් බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දිවයිනේ සියලුම රාජ්‍ය හා පෞද්ගලික බැංකු ඇතුළු මූල්‍ය ආයතන වෙත නිකුත් කරන ලද්දේ 2020 මාර්තු 31 වැනි දිනය.
එම මාධ්‍ය නිවේදනයට අනුව අපේ රටේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු මගින් ලබාගත් ණය සඳහා සයමාසික සහන කාලයක් ලබාදෙන ලෙස පැහැදිලිව දන්වා සිටියත් ඇතැම් රාජ්‍ය බැංකු එම නිවේදනය නොසලකා හැර කටයුතු කරන බව ජනතාව පවසති. රාජ්‍ය බැංකු මගින් ණය ලබාගත් රජයේ සේවකයන්ගෙන් පසුගිය අප්‍රේල් මාසයේ ණය වාරිකය අය නොකළ නමුත් මැයි මාසයේ වැටුපෙන් වාරික දෙකක් හොර රහසේම එකවර කපාගෙන ඇතැයි එම සේවකයෝ කියති.
මේ පිළිබඳව ප්‍රශ්න කිරීමේදී සයමාසික ණය සහන කාලය ලබාදෙන්නේ ලිපියක් මගින් එම සහනය ඉල්ලූ ගනුදෙනුකරුවන්ට පමණක් බවත්, එවැනි ලිපි නොදුන් අයගේ ණය වාරික දෙකක් හෝ තුනක් එකවර අය කිරීමට ඉහළින් උපදෙස් දී ඇති බවත් ඇතැම් රාජ්‍ය බැංකු නිලධාරීන් පවසන බව කියයි.
මෙම සහන කාලය ඉල්ලා ලිපි භාරදීමට ගිය අවස්ථාවන්වලදී දිනපතා එවැනි ලිපි භාර නොගන්නා බවත්, සතියේ ඇතැම් දිනවල පමණක් දහවල් 12.0ට කලින් භාරදිය යුතු බවත් කියමින් රාජ්‍ය බැංකු විසින් එම ලිපි භාර නොගෙන දින ගණන් තමන් රස්තියාදු කරන බවටද ජනතාව චෝදනා කරති.
සම්පත් සෙනෙවිරත්න-කුරුණෑගල
