රැකියා අහිමිව උන්හිටි තැන් නැති වූ පිරිසක් උද්‍යානයක
අවතැන් වූ තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් උද්‍යානයක හිසට සෙවණක් නොමැතිව රැඳී සිටින බව කලීජ් ටයිම්ස් (Khaleej Times) පුවත්පත වාර්තා කරයි. පසුගිය සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා ඩුබායිහි අල් හුඩෙයිබා උද්‍යානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ දෙවන කණ්ඩායම මෙයයි.
වීසා බලපත්‍ර කල් ඉකුත් වීම, රැකියා සහ නවාතැන් අහිමි වීම හේතුවෙන් මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස මෙලෙස උද්‍යානයේ රැඳී සිටිති. ඊයේ (10 වැනිදා) දිනය වන විට ඔවුන්ව ආරක්ෂිත නවාතැනක් වෙත ගෙන යන බවට එරට ශ්‍රී ලාංකා තානාපති කාර්යාලය ප්‍රතිඥා ලබාදී තිබුණද ඔවුන් තවමත් උද්‍යානයේ රැඳී සිටින බව ඊයේ එරට පළවන කලීජ් ටයිම්ස් පුවත්පත සඳහන් කර තිබිණි.
ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙලෙස උන්හිටි තැන් අහිමිව උද්‍යානවල රැඳී සිටින බව වාර්තා වී මෙය අනතුරුව ඉන් කොටසක් මේ සතියේ ශ්‍රී ලංකාවට රැගෙන ඒමට විශේෂ ගුවන් යානයක් යොදවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගිය සතියේ ප්‍රකාශ කළේය.
මෙම පිරිසට අයත් විජේරත්න නමැත්තකු කලීජ් ටයිම්ස් පුවත්පතට පවසා ඇත්තේ අජ්මාන්හි ඇති ආරක්ෂිත නිවාසවල නවාතැන් පහසුකම් ඇත්තේ එකසිය හැට දෙනෙකුට පමණක් බවත් දැනටමත් ඒවා අවතැන් වූ ශ්‍රී ලාංකිකයන්ගෙන් පිරී ඇති බැවින් තවදුරටත් උද්‍යානයේ රැඳී සිටින බවත්ය.
නයන තරංග ගමගේ
