News

ලංකාවේ ආයෝජනයට බය වෙන්න එපා – ඩග්ලස්

දෙමළ ඩයස්පෝරාවට අයත් බොහෝ ව්‍යාපාරිකයන් කප්පම්කරුවන්ට බියේ ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ඉදිරිපත්වන්නේ නැහැ. එහෙත් මින් ඉදිරියට එය එසේ නොවිය යුතුයි. ඒ අයට සිය මුදල් මෙරටෙහි ආයෝජනයට අවශ්‍ය සියලුම ආරක්ෂාව සපයා දීමට වර්තමාන රජය සූදානමින් සිටින නිසා කිසිදු බියක් ඇති කරගත යුතු නොවේ යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති ඩග්ලස් දේවානන්ද පවසයි.

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කැමැති දෙමළ ඩයස්පෝරාවේ ව්‍යාපාරිකයින් පීඩාවට පත් උතුරු නැගෙනහිර ජනතාවගේ දරුවන්ට රැකියා අවස්ථා ලබාදීමට කටයුතු කරනවා නම් එම ආයෝජකයින්ට අවශ්‍ය සියලු ආරක්ෂාව තමා සහ රජය ලබාදෙන බව ඔහු කියා සිටියේය.

හෙතෙම මේ පිළිබඳව කියා සිටියේ ඊයේ (13දා) ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ සිය ධුරයේ වැඩ භාර ගන්නා අවස්ථාවේ දී මාධ්‍යයට අදහස් දක්වමිනි.

එම නිසා මෙරටේ ආයෝජනය කිරීමට කිසිදු බියක් සැකක් දෙමළ ඩයස්පෝරාවේ ව්‍යාපාරිකයන් ඇති නොකර ගත යුතු බවත් මින් ඉදිරියට ව්‍යාජ පාතාලය පෙන්වා දෙමළ ජනතාව රවටා ඡන්ද කොල්ල කෑ දේශපාලනඥයින්ගේ යුගය අවසන් වන බවත් ඇමැතිවරයා කියයි.

වත්මන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රමුඛ රජය කෙරෙහි විශ්වාසය තබා සංවර්ධනය වූ උතුරු නැගෙනහිර පළාතක් බිහි කිරීමට සහාය ලබා දෙන ලෙසද ලංකාවේ දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටී.

අශිකා ජයවීර