News

ලබන වසර පුරාවට උතුරු දුම්රිය මග වැසේ

ලබන වසරේදී අදියර දෙකක් යටතේ මාස 12ක් පමණ කාලයක් උතුරු දුම්රිය මාර්ගය වසා තැබීමට සිදුවන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු පැවැසීයි.

අනුරාධපුර සිට වව්නියාව දක්වා දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් අලුත්වැඩියා කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා වසරේ පළමු මාස හයක කාලයක් වැය වනු ඇතැයි ද හෙතෙම කීවේය. දෙවැනි අදියර යටතේ මහව සිට අනුරාධපුරය දක්වා දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා සිදු කිරීමට නියමිත අතර ඒ සඳහා ද මාස හයක් ගතවනු ඇතැයි ඔහු සඳහන් කළේය.

මෙකී කාලයේ දුම්රිය ගමන් වාර පවත්වා ගැනීම සඳහා එම ප්‍රදේශ තුළ විශේෂ බස් සේවාවක් මහව සිට අනුරාධපුරය දක්වාත් අනුරාධපුර සිය වව්නියාව දක්වාත් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

පසුගියදා මේ සම්බන්ධව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශයේදී විෂය භාර ඇමති මහින්ද අමරවීර සමග සාකච්ඡාවක් පැවති අතර දුම්රිය මාර්ගය දශක ගණනාවකින් අලුත්වැඩියා කර නොමැති බව නිලධාරීන් විසින් ඇමැතිවරයාට පෙන්වා දුන්නේය. ඒ අනුව එම දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරීමට ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙම දුම්රිය මාර්ගය නවීකරණය සඳහා මේ වන විට රේල් පීලි ටොන් 166,000 ක් ආනයනය කර ඇති බවත් මීට අවශ්‍ය සිල්පර කොට ගෙන්විය යුතු බවත් සාමාන්‍යාධිකාරීවරයා කීවේය. අමුද්‍රව්‍ය ගෙන්වූ වහාම වැඩකටයුතු ආරම්භ කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ශිරන්තනි මානවඩු